Wednesday, September 12, 2018

"මම නුජූඩ්, වයස අවුරුදු 10 යි, සහ දික්කසාදයි"


නුජූඩ් අලි (උපත 1998 දී), බලහත්කාර විවාහ සහ ළමා විවාහ වලට එරෙහි යේමන ව්‍යාපාරයේ ප්‍රධාන චරිතයකි. යේමනයේ ගෝත්‍රික සම්ප්‍රදායට එරෙහිව යමින් ඇය වයස අවුරුදු 10 දී සිය සැමියාගෙන් දික්කසාදය අත්පත් කර ගත්තාය. 2008 නොවැම්බරයේදී, ඇමරිකා එක්සත් ජනපදයේ කාන්තා සඟරාවක් වන "ග්ලැමර්", නුජූඩ් අලි සහ ඇගේ නීතිඥවරිය වූ ෂාඩා නසර් වසරේ කාන්තාවන් ලෙස නම් කරන ලදි. හිලරි ක්ලින්ටන් සහ කොන්ඩලීසා රයිස් ඇතුළු ප්‍රමුඛ කාන්තාවන් විසින් නුජූඩ්ගේ ධෛර්‍යය පැසසුමට ලක්කර තිබේ.

1964 දී උපත ලැබූ, නුජූඩ්ගේ නීතිඥවරිය වන ෂාඩා නසර්, මානව හිමිකම් සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ විශේෂඥවරියක වන අතර, නුජූඩ්ගේ දික්කසාදයට පෙනීසිටීම නිසා බොහෝ ගෞරවයට පාත්‍ර විය. නුජූඩ්, ප්‍රංශ ජාතික මාධ්‍යවේදිනියක් වන ඩෙල්ෆින් මිනූයි සමඟ එක්වී, ඇයගේ ජීවිත අත්දැකීම් පිළිබඳව "මම නුජූඩ්, වයස අවුරුදු 10 යි, සහ දික්කසාදයි" යන නමින් පොතක් ලියා පළකලාය.

නුජූඩ් අලිගේ වයස අවුරුදු 9 ක් වනවිට ඇගේ දෙමව්පියෝ, වයස අවුරුදු 30 ඉක්මවූ ෆයිස් අලි තාමර් නම්වූ පුද්ගලයෙකුට ඇය විවාහ කර දුන්හ. නිරන්තරයෙන් ඇගේ සැමියා ඇය දූෂණය කළ අතර සැමියාගේ දෙමවුපියන්ගේ පහරදීම් වලට මුහුණ දීමට සිදුවිය. අවසානයේදී, විවාහ මංගල්‍යයෙන් මාස 2 කට පසු, 2008 අප්‍රේල් මස 2 වන දින, තම පියාගේ දෙවන භාර්යාවගේ උපදෙස් මත සැමියාගේ නිවසින් පැනගොස් සනා අගනුවර උසාවියට ​​පැමිණියාය. දීර්ඝ වෙලාවක් එහි රැඳී සිටීමෙන් අනතුරුව ඇය මොහම්මඩ් අල්-ගධා නම්වූ විනිසුරුවරයෙකුගේ අවධානයට ලක්වූවාය. නුජූඩ්ගේ තාවකාලික රැකවරණ සළසාදීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ ඔහු ඇයගේ පියා සහ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගැනීමටද කටයුතු කළේය.

අත්අඩංගුවේ පසුවන සහ බන්ධනාගාරගතව සිටින කාන්තාවන් සඳහා සේවය සපයන නීතිඥවරියක වන ෂාධා නසර්, නුජූඩ් වෙනුවෙන් පෙනීසිටීමට එකඟ වුවාය.

ඒ වකවානුවේ යේමන නීතියට අනුව, විවාහය සඳහා කාන්තාවකට අවුරුදු 15 ක අවම වයසක් නියම කර තිබුනද, බාල වයසේ ගැහැණු දරුවන් විවාහ කරදීමටද එම නීතිය යටතේම දෙමවුපියන්ට ඉඩක් ලබාදී තිබුණි. ඒ, විවාහයෙන් පසුව "නිසි පරිදි සුදානම්" වනතෙක්, එම ළදරු මනාලියන් සමඟ ලිංගික සම්බන්ධකම් නොපැවැත්වීමට ස්වාමිපුරුෂයා එකඟ වන්නේ නම් පමණි, යන කොන්දේසියට අනුවය.

නසර් නීතිඥවරියගේ තර්කය වුයේද නුජූඩ් ගේ සැමියා එම විවාහ නීතිය උල්ලංඝනය කිරීමයි. වසර 3 සිට 5 දක්වා විරාමයකින් පසුව සිය සැමියා සමග නැවත පවුල් ජීවිතය ගත කිරීමට විනිසුරුවරයා කළ යෝජනාව නුජූඩ් තරයේ ප්‍රතික්ෂේප කළාය. 2008 අප්‍රේල් 15 දිනදී උසාවිය ඇයගේ දික්කසාදයට අවසර ලබාදුන්නේය.

නඩු විභාගයෙන් පසු නුජූඩ් ඇගේ පවුලේ සාමාජිකයින් සමග නැවත වාසයට පැමිණියාය. 2008 වර්ෂයේ ශරත් ඍතුවේදී නීතිඥවරියක් වීමේ අදිටනින් ඇය නැවත පාසලට යාම ආරම්භ කළාය. නුජූඩ්ගේ මතක සටහන් 2009 දී ප්‍රකාශයට පත් කරන ලද අතර, පොතේ ජාත්‍යන්තර අළෙවියෙන් උපයනු ලැබූ ආදායම ඇගේ පාසැල් අධ්‍යාපනය සඳහා යෙදවීමට අදහස් කරන ලදි. නමුත් ඇය නිතර පාසැලට නොගියාය. නඩු විභාගයේ ප්‍රතිඵලයක් වශයෙන් යේමනය පිලිබඳ සෘණාත්මක ආකල්පයක් විදේශීය මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම නිසා 2009 වසරේදී නුජූඩ් අලිගේ විදේශ ගමන් බලපත්‍රය රාජසන්තක කරන ලද අතර ඒ හේතුවෙන් ඇයට ඕස්ට්‍රියාවේ වියානා නුවර පැවති ලෝක කාන්තා සම්මාන උළෙල සඳහා සහභාගිවීමට නොහැකි විය. විදේශීය මාධ්‍ය ද, පොතෙන් ලැබෙන ආදායම ඇගේ පවුලේ අය වෙත පැමිණ තිබේදැයි ප්‍රශ්න කළහ.

2010 දී නුජූඩ්ගේ පවුල ඇගේ ප්‍රංශ ප්‍රකාශකයාගේ උපකාරයෙන් නව දෙමහල් ගොඩනැගිල්ලක වාසයට පැමිණි අතර බිම් මහලේ සිල්ලර සාප්පුවක් පවත්වාගෙන යමින් ජීවත් විය. මේ කාලය වන විට නුජූඩ් සහ ඇගේ බාල සොහොයුරිය පෞද්ගලික පාසලකට පූර්ණ කාලීනව සහභාගි වූහ. යේමන නීතිය යටතේ, අවුරුදු 18 ක් සම්පුර්ණ නොවූ නුජූඩ්ට ඍජුව මුදල් ගෙවීමට ප්‍රකාශකයින්ට නොහැකි වූ නිසා, ඇය සහ ඇගේ අධ්‍යාපන වියදම් වෙනුවෙන් ඇගේ පියාට මාසයකට ඩොලර් 1000 බැගින් ලබා දීමට එකඟ වූහ.

මෙම ග්‍රන්ථයේ ඉංග්‍රීසි භාෂාවේ පිටපත 2010 මාර්තුවේ දී ප්‍රකාශයට පත් කරන ලදී. නුජූඩ්ගේ දික්කසාදය ලොවපුරා ප්‍රචාරය වීම, ළමා විවාහයන් අවලංගු කිරීම සඳහා පුරෝගාමී වූ අතර, ඒ අතුරින් 2009 වසරේදී, ඩොලර් 13,000 ක මුදලක් සඳහා සෞදි අරාබියේ අවුරුදු 53 ක මැදිවියේ මිනිසෙකුට බලහත්කාරයෙන් විවාහ කරදුන් 8 හැවිරිදි ගැහැණු ළමයකුගේ දික්කසාදය වඩාත් ප්‍රචලිත විය.

2013 දී නුජූඩ් මාධ්‍යයට පැවසුවේ ප්‍රකාශකයින් විසින් ගෙවන ලද මුදල් වලින් වැඩි ප්‍රමාණයක් තම පියා විසින් රඳවාගෙන ඇති බවත්, ඇය සිය නිවසෙන් නෙරපා ඇති බවත්ය. එමෙන්ම, නුජූඩ්ගේ අධ්‍යාපනයට වැයකලයුතු වූ මුදලින් ඔහු නව බිරින්දෑවරු දෙදෙනෙක් සමග විවාහ වී තිබූ අතර ඇයගේ බාල සොහොයුරිය වන හයිෆා සඳහාද මහළු මිනිසෙකු සමග විවාහයක් සූදානම් කර තිබුණි. නුජූඩ්ගේ හිටපු සැමියා ඇයට මසකට වන්දි වශයෙන් ගෙවූයේ ඩොලර් 30 ක මුදලක් වෙයි.

2015 වසරේ ජූනි මස, 16 වන වියේ පසුවූ නුජූඩ් (තේරුම "සැඟවුණු") තම නම නොජූම් (තේරුම "අහසේ තාරකා") ලෙස නිළ නොවන ආකාරයෙන් වෙනස් කළාය.

ඇය 2014 දී විවාහ වී ඇති අතර දැන් ගැහැණු දරුවන් දෙදෙනෙක් සිටී. යම්කිසි හේතුවක් නිසා ඇය පාසැල් යාම ප්‍රතික්ෂේප කළ බැවින් ඇගේ අධ්‍යාපන මට්ටම ආරම්භයේ දී සැලසුම් කර තිබූ පරිදි ඉහළට ගෙනයාමට ඇය අපොහොසත් වුවාය.

Tuesday, September 11, 2018

ලොංයීර්බියන් : මරණය තහනම් නගරය

ලොංයීර්බියන් (Longyearbyen) නෝර්වේ සහ උත්තර ධ්‍රැවය අතරමැද පිහිටි ස්වාල්බාර් (Svalbard) දිවයිනෙහි පරිපාලන නගරයයි. 2015 සංගණනයට අනුව නගරයේ ජනගහණය 2,144 කි. ලොංයීර්බියන් නගරයේ මරණය සඳහා අවසර නැත. ඔබ දැඩි අසනීප තත්ත්වයකින් පසුවෙයි නම් හෝ මිය යමින් සිටින්නේ නම්, බලධාරීහු හැකි ඉක්මනින් ඔබ ප්‍රධාන භූමියට, එනම් නොර්වේ වෙත යවන අතර, ඔබ ලොංයීර්බියන් නගරයේදී මිය ගියේ නම්, කිසිවෙකු ඔබව එහි භූමදාන කරන්නේ නැත.

වසර 80 කට ආසන්න කාලයක් තිස්සේ මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන අතර, 1918 සිට සුසානභූමිය වසාදමා තිබේ.


ලොංයීර්බියන් නගරයේ උෂ්ණත්වය -45°C ට වඩා පහළ අගයක් ගන්නා අතර පොළව වසර මුළුල්ලේම ඝන හිම තට්ටුවකින් වැසී පවතී. තහනමට පෙර, සුසානභූමියේ මළ සිරුරු තැන්පත් කිරීමෙන් අනතුරුව, එම සිරුරු කිසි දිනක දිරා නොයන බව අනාවරණය විය. සුසාන භූමියේ තැන්පත් කළ මළ සිරුරු හොඳින් සංරක්ෂණය වී තිබූ නමුත් ගැටළුව වූයේ ස්පාඤ්ඤ උණ වසංගතයේ සජීවී රෝගකාරකයින් එම සිරුරු තුල තිබී විද්‍යාඥයින් විසින් සොයාගැනීමයි.

ලොව පුරා මිලියන 500 ක පමණ පිරිසකට ආසාදනය වූ, මිලියන 50 -100 අතර පිරිසකගේ මරණ සම්බන්ධයෙන් වගකිව යුතු යැයි සැලකූ ස්පාඤ්ඤ උණ වසංගතය පළමුවන ලෝක මහා යුද්ධයෙන් පසුව ලෝකයෙන් තුරන්වී ගිය බවට විශ්වාස කරනු ලැබීය.

කෙසේවෙතත්, නූතන වෛද්‍ය විද්‍යාවේ අධ්‍යයනයන්ට ලක්වීමට පෙර ස්පාඤ්ඤ උණ වසංගත රෝග කාරකය සම්පූර්ණයෙන්ම අතුරුදහන්ව ගිය අතර මෙම රෝගය සඳහා ප්‍රතිකාරයක් මේ දක්වා සොයාගෙන නැත. ලොංයීර්බියන් සොහොන්වලින් ලබාගත් සාම්පල ඇත්තවශයෙන්ම විද්‍යාඥයන්ට රෝගය මැඩපැවැත්වීම සඳහා සටන් කිරීමට නව අවස්ථාවක් ලබා දී ඇත.

ආක්ටික් කළාපයේ පිහිටි ලොංයීර්බියන් නගරය, වසර 100 කට ආසන්න කාලයක් තිස්සේ සිය සුසානභූමියේ සජීවීව පැවති ස්පාඤ්ඤ උණ වසංගත රෝග කාරකය පිළිබඳව කිසිවක් නොදැන සිටියේය. නගරයේ මරණය තහනම් කිරීමේ නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට හේතුව මෙය විය.

පාවෙන නගරය

ඉතාලියේ ඊසානදිග ප්‍රදේශයේ පිහිටි වෙනීසිය හඳුන්වන නම් කිහිපයක් ඇති අතර, ඉන් එකක් වන්නේ "පාවෙන නගරය" යන්නයි. මේ හැඳින්වීමට හේතුපාදක වන්නේ වෙනීසිය, ඇල මාර්ග සහ පාලම් විශාල සංඛ්‍යාවක් මගින් එකිනෙකට සම්බන්ධ කුඩා දූපත් 118 ක් මත ඉඳිකර තිබීමයි. එහෙත්, වෙනීසියේ ඇති කිසිදු ගොඩනැගිල්ලක් දුපත් සමග ඍජු ලෙස සම්බන්ධ නොවේ. දුපත් වල සිටුවා ඇති දැව කුළුණු මත ගොඩනගා ඇති ලී වේදිකාවන්හි සියළුම ගොඩනැගිලි ඉඳිකර තිබේ.

වෙනීසියේ ආරම්භය සිදුවන්නේ ක්‍රිස්තු පූර්ව 5 වන ශතවර්ෂයේ දී බටහිර රෝම අධිරාජ්‍යයේ බිඳ වැටීමෙන් පසුව, උතුරු ප්‍රදේශයේ සිටි ම්ලේච්ඡ පිරිස් රෝම අධිරාජ්‍යයට කලින් අයත්ව තිබූ ප්‍රදේශ ආක්‍රමණය කිරීමත් සමගය. මෙම ආක්‍රමණ වලින් ගැලවීම සඳහා, ප්‍රධාන භූමියේ වාසය කළ වෙනීසියානු ජනයා කළපුව අසළ පිහිටි වගුරු බිම් වෙත පළාගිය අතර, ටෝර්චෙලෝ, ඊසොලෝ සහ මලමෝක්කෝ නමැති වැලි දූපත් වල රැකවරණය ලබාගත්හ. මෙම දූපත් ජනාවාස මුලදී තාවකාලික ස්වභාවයක් ගත් නමුදු, කල්ගත වෙත්ම වෙනීසියානුවන්ගේ ස්ථිර වාසස්ථාන බවට පත් විය.

ඔවුන්ගේ ගොඩනැඟිලි ශක්තිමත් පදනමක් මත ගොඩනැඟීම පිණිස, වෙනීසියානුවන් මුලින්ම දුපත් වල වැලි පොළව විද දැව කුළුණු සිටවූහ. ඒ කුළුණු මත දැව කුට්ටි සවිමත් ලෙස අතුරමින් වේදිකාවන් ඉඳිකළහ. අවසාන වශයෙන්, මෙම වේදිකා මත ගොඩනැඟිලි නිර්මාණය කළහ. 17 වන සියවසේ ලියන ලද ග්‍රන්ථයක වෙනීසියේ ඉදිකිරීම් ක්‍රියාවලිය සවිස්තරාත්මකව අඩංගු වන අතර, කුළුණු සහ වේදිකා සඳහා අවශ්‍ය වූ දැව ප්‍රමාණාත්මකව සඳහන් කර තිබේ.

මෙම ග්‍රන්ථයට අනුව, සන්ත මරියා ඩෙලා සලූතේ දේවස්ථානය ඉඳිකිරීමේදී මීටර් 4 ක් උසින් යුත් දැව කුළුණු 1,106,657 ක් නොගැඹුරු මුහුදු පතුළ තෙක් විද තිබෙන අතර, මෙම ක්‍රියාවලිය සම්පුර්ණ කිරීම සඳහා අවුරුදු 2 ක් සහ මාස 2 ක් ගත කිරීමට සිදුවිය. එමෙන්ම, ස්ලොවීනියාව, ක්‍රොඒෂියාව සහ මොන්ටිනිග්‍රෝ යන අසල්වාසී රටවල වනාන්තරවලින් සපයාගත් දැව ජල මාර්ග හරහා වෙනීසිය වෙත ප්‍රවාහනය කරන ලදි. මේ අනුව, මෙම කර්තව්‍යයේ පරිමාව අපට සිතාගත හැකි වෙයි.

ලෝහ සහ පාෂාණ වලට සාපේක්ෂව දැව දිගුකලක් නොපවතින හෙයින්, ආධාරක ව්‍යුහයක් ලෙස දැව භාවිතා කිරීම පුදුමයක් විය හැකිය. වෙනීසියේ දැව පදනමේ දිගුකාලීන පැවැත්මේ රහස වන්නේ ඒවා දිය යට පිහිටීමයි. දැව දිරායාම, දිලීර සහ බැක්ටීරියා වැනි ක්ෂුද්‍ර ජීවීන් නිසා සිදුවේ. වෙනීසියේ දැවමය ආධාරක දිය යට පිහිටා ඇති බැවින්, ඒවා ක්ෂුද්‍ර ජීවීන්ගේ පැවැත්ම සඳහා අවශ්‍ය වන ඔක්සිජන් වායුවට නිරාවරණය වී නොමැත. මීට අමතරව, ලවණ සහිත මුහුදු ජලය නිරන්තරයෙන් දැව අධාරක සමග සම්බන්ධව තිබීම නිසා, කාලයක් ගතවීමේදී දැවයෙන් නිමවා ඇති ආධාරක ශෛලමය ව්‍යූහයක් බවට පරිවර්තනය කරයි.

අද වන විට, අසීමිත විදේශ ආක්‍රමණයන්ගෙන් වෙනීසිය ආරක්ෂා කරදුන් කලපුවම එහි පැවැත්මට ඇති ලොකුම තර්ජනය වී තිබේ. දේශීය වෙනීසියානුවන්ට නම් මුහුදු ජලයෙන් වෙනීසිය යටවීම අරුමයක් නොවේ. වඩදිය හේතුවෙන් මසකට වරක් මුහුදු ජල මට්ටම ඉහළ යන බැවින්, නගරයේ සමහර ප්‍රදේශ වතුරෙන් යටවීම සාමාන්‍ය සිද්ධියකි. එමෙන්ම, දැඩි සුළඟ, කුණාටු හා ගොඩබිම් ප්‍රදේශයේ දරුණු වැසි සහිත කාලගුණය හේතුවෙන්ද මුහුදු ජලයෙන් වෙනීසිය යටවීම සිදුවේ. කෙසේ වෙතත් මෑත කාලයේ මෙම තත්ත්වය සීඝ්‍රයෙන් සිදුවෙමින් පවතී. තවද, කාලගුණික විපර්යාස නිසා ඇතිවන මුහුදු මට්ටම ඉහළ යාමද නගරයට අනතුරු ඇඟවීම ආරම්භකර තිබේ. එබැවින් වෙනීසිය මුහුදේ ගිලී යාම වැළක්වීම සඳහා විසඳුම් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇත. මෙම පියවරයන්ගෙන් එකක් වන්නේ Mo.S.E. (Modulo Sperimentale Elettromeccanico නැතහොත් පර්යේෂණාත්මක විද්‍යුත්යාන්ත්‍රික මොඩියුලය) ව්‍යාපෘතියයි. මේ අනුව ජලදොරටු 79 ක් ඉදි කිරීම මගින්, සාමාන්‍ය මුහුදු ජල මට්ටම මීටරයකට වඩා ​​ඉක්මවන විට කළපුව ඒද්‍රියාතික මුහුදෙන් වෙන්කෙරේ. කෙසේ වෙතත්, ඇතැම් අශුභවාදී නිරීක්ෂකයන් විශ්වාස කරන්නේ එවන් පියවරවල් සදහටම වෙනීසිය ආරක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් නොවන බවත්, අවසානයේ වෙනීසිය, ඇට්ලාන්ටිස් දිවයින මෙන් මුහුදේ ගිළී යනු ඇති බවත්ය.




කාන්තාවන් පාලනය කරන ලෝකය: මාතෘමූලික සමාජ


1. මොසුඕ

ටිබෙට් දේශසීමාව අසල, යුනන් සහ සිශුආන් ප්‍රාන්තවල ජීවත්වන මොසුඕ ජනවර්ගය, බොහෝදුරට ලොව වඩාත් ජනප්‍රිය මාතෘමූලික සමාජයයි. චීන රජය විසින් නක්සි නමින් හැඳින්වෙන තවත් ජනවාර්ගික සුළුතරයක කොටසක් ලෙස වර්ගීකරනය කරනු ලැබූවද මෙම ජනවර්ග දෙකෙහි සංස්කෘතිය සහ භාෂාව යන දෙකම එකිනෙකට වෙනස් වෙයි.

මොසුඕ, පුළුල්වූ පවුල් වලින් සමන්විත වන අතර පවුලේ සියළුම සාමාජිකයෝ එක් විශාල නිවසක ජීවත් වෙති. සෑම නිවසකම ප්‍රධානියා මාතෘමූලික වෙයි. පරම්පරාව සැළකිල්ලට ගනුලබන්නේ පවුලේ ස්ත්‍රී පක්ෂයෙන් වන අතර, දේපල හිමිකාරීත්වය ස්ත්‍රී පාර්ශව අතර සිදුවේ. මොසුඕ කාන්තාවන් සාමාන්‍යයෙන් ව්‍යාපාරික තීරණ ගනුලබන අතර පිරිමින් ඉඩම් පාළන කටයුතු ඉටුකරයි. මවගේ වාසගමට හිමිකම් කියන දරුවෝ මවගේ නිවසේම ජීවත් වෙති.

මොසුඕ අතර විවාහ වීමේ සම්ප්‍රදායක් නොමැති අතර, "ඇවිදයන විවාහ" යනුවෙන් හැඳින්වෙන, සහකරුවන්ගේ නිවසට ගමන්කිරීම පමණක් ප්‍රමාණවත් වෙයි. යුවළ කිසිදු දිනක එක නිවසක වාසය කරන්නේ නැත. දරුවන් සැමවිටම මවගේ ආරක්ෂාව යටතේ වැඩෙන බැවින් දරුවන් කෙරෙහි පියාගේ කාර්යභාරය ඉතා අල්ප වෙයි. බොහෝ අවස්ථාවලදී දරුවන් පියා කවරෙක්ද යන්න නොදනී. ඒ අනුව පියාගේ දරුවන් හදාවඩා ගැනීමේ වගකීම සිය මවගේ නිවසටම පමණක් සීමා වෙයි.

2. මයිනංකබාඋ

මිලියන 4 කට ආසන්න, ඉන්දුනීසියාවේ බටහිර සුමත්‍රාවේ වාසය කරන මයිනංකබාඋ ජනවර්ගය, දැනට දන්නා පරිදි ලොව විශාලතම මාතෘමූලික සමාජයයි. සියළුම දේපළ මවගේ අවෑමෙන් දියණියට පැවරිය යුතුය යන ගෝත්‍රික නීතියට අමතරව, මයිනංකබාඋ සමාජයේ වැදගත්ම පුද්ගලයා මව ලෙස සැළකේ. මයිනංකබාඋ සමාජයේ ස්ත්‍රීන් සාමාන්‍යයෙන් ගෘහස්ත කටයුතු මෙහෙයවන අතර පිරිමින් දේශපාලනික හා ආධ්‍යාත්මික නායකත්වයේ භූමිකාවන් ඉටු කරති. කෙසේ වෙතත්, දෙපාර්ශ්වයම එම දෙපාර්ශවයන්ට අයත් එකී බලතල සමානව බෙදී ඇති බව සලකති.

විවාහය සමගම සෑම ස්ත්‍රියකටම ඇයට අයිති නිදන කුටියක් හිමිවෙයි. ස්වාමිපුරුෂයාට ඇය සමඟ නිදාගත හැකි නමුදු, ඔහුගේ මවගේ නිවසේ උදෑසන ආහාරය ගැනීම සඳහා උදෑසනින්ම බිරිඳගේ කුටියෙන් පිටත් විය යුතුය. වයස අවුරුදු 10 දී පිරිමි ළමුන් මවගේ නිවසින් ඉවත්වී පිරිමින් සඳහා වෙන්වූ නිවාසවල රැඳී සිටිමින් ඔවුන්ගේ ප්‍රායෝගික නිපුණතා සහ ආගමික කටයුතු ඉගෙන ගැනීම කළයුතු වෙයි.

ගෝත්‍රයේ නායකත්වය සෑම විටකම පුරුෂයෙකුට හිමි වුවද, නායකත්වයට පුරුෂයෙකු තෝරා පත් කරගැනීමේ අයිතිය කාන්තාවන්ට පමණක් හිමිවෙයි. තෝරා පත් කරගත් පුරුෂයා ඔහුගේ රාජකාරි නිසි අයුරින් ඉටුකිරීමට අසමත්ව ඇති බව හැඟී ගියහොත් ඔහු ඉවත් කිරීමේ අයිතියද කාන්තාවන් සතු වෙයි.

3. ඇකා

අප්‍රිකාවේ, මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුවේ සහ කොංගෝ හි වාසය කරන ඇකා ජනවර්ගයේ පිරිමින්, ලොව සිටින "හොඳම පියවරුන්" ලෙස සලකනු ලැබේ. මෙම පිග්මි පියවරු, ලොව අන් ඕනෑම ජන කොටසක පියෙකු සිය දරුවෙකු වෙනුවෙන් වැයකරන කාලය මෙන් 5 ගුණයක් සිය දරුවෙකු වෙනුවෙන් කැපකරති. ගැහැණුන් දඩයම් කටයුතු වල යෙදෙන අතර, පිරිමින් දරුවන් බලාගනිමින් ඉවුම් පිහුම් කටයුතුවල නිරත වේ. මව හෝ පියා කිසිදු මොහොතක සිය දරුවන් තනි නොකිරීමට වගබලා ගනිති. එමෙන්ම, මව හෝ පියා දරුවෙකුට පහරදීම, අඹුසැමියන්ගේ වෙන්වීමක මුලික අඩිතාලම වෙයි.

වඩා පුදුම සහගත කරුණ වන්නේ, මව අසළ නොමැති විටක ළදරුවෙකු බඩගින්නෙන් හඬන්නේනම්, ළදරුවාගේ හැඩීම නතර කිරීම සඳහා පියා සිය ළදරුවාට තනපුඩුව ලබාදීමයි.

4. ඛාසි

ඊසානදිග ඉන්දියාවේ මෙඝාලයා ප්‍රාන්තයේ වාසය කරන ඛාසි ජනවර්ගයට දියණියකගේ උපත උත්සවාකාරයෙන් සැමරීම සඳහා හේතුවක් වන අතර පිරිමි දරුවෙකුගේ උපත සරල කාරණයක් වේ. සාමාන්‍යයෙන්, පවුලේ බාලම දියණියට සියලු මුතුන්මිත්තන්ගේ දේපල උරුම වෙයි. යුවළකට දියණියක් නොමැති නම්, ඔවුන් ගැහැණු දරුවෙකු හදාවඩා ගැනීමට ලබා ගන්නා අතර තම සියළු දේපළ ඇය වෙත හිමි කර දෙනු ලැබේ. වර්තමානයේ මේ තත්වය බොහෝ ඛාසි පිරිමින් අතර අසන්තෝෂයට හේතුවී ඇති අතර ඔවුහු තම අයිතිවාසිකම් සුරැකීම සඳහා සමිති සමාගම් පිහිටුවමින් සිටිති.

5. ගරෝ

ඛාසි ජනවර්ගය මෙන්ම ඔවුන්ගේ අසල්වැසියන් වන, ටිබෙට්-බුරුම බස කතා කරන ගරෝ ජනවර්ගයේ දේපල අනුප්‍රාප්තිය මවගෙන් බාලම දියණියට නිතැතින්ම උරුම වෙයි. කෙසේ වෙතත්, අකාන් ජනවර්ගය මෙන්ම මාතෘ මූලික වුවද, සමාජ පාලනය හා දේපළ කළමනාකරණය පිරිමියා සතුවෙයි.

6. නාගෝවිසි

නාගෝවිසි ජනවර්ගය ජීවත් වන්නේ නිව් ගිණි හි බටහිර වෙරළ තීරයේ දකුණු බුගෙන්විල් දූපතේ වෙයි. නාගෝවිසි කාන්තාවන් නායකත්වයට හා උත්සවවල මූලිකත්වයට බැඳී සිටින නමුත්, ඔවුන්ට හිමිකම් ඇති භූමියේ වැඩකටයුතු කිරීම ඔවුන්ගේ අභිමානය වෙයි.

නිසි කල පැමිණි විට නාගෝවිසි කාන්තාව ගෙවතු වගාව හා ලිංගිකත්වය සමාන අයුරින් සළකයි. නීත්‍යානුකූල වීම අනිවාර්ය නොවන විවාහය කාන්තාවගේ කැමැත්ත පරිදි සිදුවේ. යුවලක් දිවා රෑ එකට දක්නට ලැබේ නම්, පිරිමියා කාන්තාවගේ වැඩ කටයුතු වලට සහය දෙමින් නිරතුරුව ඇය හා රැඳී සිටීනම් සියළුම අභිලාෂයන් හා අරමුණු අනුව ඔවුන් විවාහක බවට සලකනු ලැබේ.


ප්ලාස්ටික් මිනිසා

2010 වර්ෂය වනවිට ඉංදියාවේ මධ්‍යම ආණ්ඩුව ඉංදියාව තුල බොහෝ ප්ලාස්ටික් නිමි භාන්ඩ තහනම් කරනු ලැබීය. එම තහනමින් පසු එක් දිනකට ප්ලාස්ටික් අපද්‍...