Friday, June 8, 2018

සාර්ඩිනියානු සිනහව

වසර දහස් ගණනකට පෙර සාර්ඩිනියා දිවයිනෙහි වාසය කළ ෆිනීෂියානු ජනපදිකයන් මියයමින් සිටින පුද්ගලයන්ගේ මුහුණු සිනාගන්වන ආකාරය දැනසිටියහ.

ක්‍රිස්තු පූර්ව අටවන සියවස වනවිට සුප්‍රසිද්ධ කවියෙකු වූ හෝමර් විසින් risus sardonicus යන යෙදුම ඔහුගේ නිර්මාණ තුලින් අඳුන්වා දී තිබුණි. මෙහි සරල තේරුම නම් "සාර්ඩිනියානු සිනහව" යන්නයි. වෛද්‍ය විද්‍යාවට අනුව, මරණයට පත්වන පුද්ගලයෙකුගේ මුහුණේ මාංශ පේශී වල ඇතිවන අනිච්ඡානුග ක්‍රියාවක් නිසා මෙම තත්ත්වය ඇතිවේ. එබැවින් මළ සිරුරේ මුහුණ සිනහසෙන ආකාරයක් පෙන්වයි. මෙම යෙදුමට මුලික වන්නේද සාර්ඩිනියා දුපතයි. හෝමර් මෙම යෙදුම නිර්මාණය කළේ සාර්ඩිනියා දුපතේ සිදුකලා යැයි පැවසෙන චාරිත්‍රානුකූල ඝාතන විස්තර කිරීම සඳහාය.


දැන් විද්‍යාඥයන් පවසන්නේ පුරාණ මුහුදු වෙළඳුන් විසින් වසර 2,800 කට පමණ ඉහතදී මළ සිරුරක බිහිසුනු සිනහවක් නිර්මාණය කිරීම සඳහා ශාඛයකින් ලබාගන්නා විෂ යුෂක් උපයෝගී කරගත් බවයි. ඔවුන්ගේ නව අධ්‍යයනයට අනුව, තවදුරටත් තමන්ගේ රැකවරනය සලසා ගැනීමට නොහැකි වූ වයෝවෘද පුද්ගලයන්ට සහ අපරාධකරුවන්ට සාර්ඩිනියාවේ වැවෙන ශාඛයක විෂ යුෂක් බීමට ලබාදෙන ලදි. ඉන්පසුව හෙළකින් පහළට තල්ලුකර දැමීම හෝ මියයන තෙක් පහරදීම සිදුකරයි.

සියවස් ගණනාවක් පුරා ශාඛයේ අනන්‍යතාව අභිරහසක් වී තිබූ නමුත්, අධ්‍යයනයේ මුළිකයා වන ජියෝවානි ඇපෙන්ඩිනෝ සහ ඔහුගේ සගයන් පවසන පරිදි මියයන මොහොතේ අද්භූත සිනහවක් ගෙන දෙන මෙම ශාඛය හෙම්ලොක් වෝටර්-ඩ්‍රොප්වර්ට් (විද්‍යාත්මක නාමය Oenanthe crocata) නම් වෙයි. සුදු පැහැති මල් දරණ ශාකයක් වන මෙය වර්තමානයේ ඉතාලියට අයත් සාර්ඩිනියා දුපතේ ජලාශ්‍රිතව වැඩේ. පෙනුම සැල්දිරි ශාඛයක ආකාරය ගනී.

මීට දශකයකට පමණ පෙර, සාර්ඩිනියානු එඬේරෙකු යම් ශාඛයක් අහාරයට ගෙන සියදිවි හානිකර ගැනීමත්, මළ සිරුරේ මුහුණ සිනහසෙන ආකාරකින් තිබීමත් මෙම අධ්‍යයනයට මූලික විය.

සාමාන්‍යයෙන් විෂ සහිත ශාඛ තිත්ත හෝ කටුක රසැති වෙයි. නැතහොත් වෙනත් යම් ආකාරයකින් මිනිසුන් විකර්ශනය කරයි. නමුත් මාරාන්තික හෙම්ලොක් වෝටර්-ඩ්‍රොප්වර්ට් ශාඛයේ කඳෙහි සහ පත්‍රවල ඇති ප්‍රසන්න සුවඳ හා මුල්වල ඇති ඉමිහිරි රසය නිසා මනුෂ්‍ය භෝජනයට ඉතාමත් ආකර්ෂණීය වෙයි. සාමාන්‍යයෙන් පැය 3 ක් තුලදී මරණය සිදුවෙයි


ස්කොට්ලන්තයේ බල්ලන් සියදිවි නසාගන්නා පාළමේ අභිරහස

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේ සිට පැය භාගයක පමණ ගමනකින් පසුව 19 වන සියවසට අයත් බළකොටුවක් වන ඕවර්ටුන් මන්දිරය හමුවේ. එය මේ දක්වා වසර 160 ක් පුරාවටම චිත්‍රපට දර්ශණතල සඳහා, මාතෘ රෝහලක් ලෙස සහ 2 වන ලෝක යුද සමයේ මිත්‍ර හමුදා සඳහා පුනරුත්ථාපන කඳවුරක් වශයෙන් යොදාගෙන ඇත. කෙසේ නමුත් මෙම ලිපියෙන් විස්තර කරන්නේ එම මන්දිරය ආසන්නයේ පිහිටා ඇති 1895 දී ඉඳිකරන ලද, දශක ගණනාවක් තිස්සේ ඉතාමත්ම සාමකාමී ලෙස පවතින නමුත් නිශ්චිත පැහැදිලි කිරීමකට මේ දක්වා බඳුන් නොවූ ඕවර්ටුන් නමැති පාළම පිළිබඳවයි.

1950 ගණන් වලදී මිනිසුන් එය හැඳින්වූයේ "මරණයේ පාලම" ලෙසයි. ඒ, කිසිම හේතුවකින් තොරව බල්ලන් මෙම පාළමෙන් පැනීමෙන් මියයාම හේතුවෙනි. පසුගිය පනස් වසර තුළදී බල්ලෝ පනස් දෙනකු මියගොස් තිබේ. එම කාලය තුළදීම තවත් බල්ලන් 600 ක් පමණ පාළමෙන් පහළට පැන්නද ජීවිත හාණියක් සිදුවී නොමැත. විශේෂත්වය වන්නේ පළමු වතාවේ ජීවිතය ගලවා ගත් සමහර බල්ලන් දෙවන වතාවටද පාළමෙන් පැනීමයි.

බල්ලන්ගේ සියදිවි නසාගැනීමේ ක්‍රියාවලියේ පොදු රටා දක්නට ලැබේ. සියළුම බල්ලන් දිගු නාසයක් සහිත වෙයි; එනම්, තියුණු ඉවක් සහිත දඩයම් බල්ලෝ වෙති. බල්ලන් මියයන්නේ පාළම යටින් පිහිටි රළු ගල්කුළු වල වැදීමෙනි. සියළුම බල්ලන් පනින්නේ පාළමේ එකම ස්ථානයකිනි; එනම්, පාළමේ දකුණු පැත්තෙහි ඇති අවසාන ආරක්ෂක පවුරු දෙක අතරිණි. සියළුම සියදිවි නසාගැනීම් සිදුවී ඇත්තේ හොඳින් හිරු පායා ඇති පැහැදිළි දිනවලදී වෙයි.

ඇත්තෙන්ම මේ සිදුවීම් සියදිවි නසා ගැනීම් ද? බල්ලන් ගැන දන්නා ඕනෑම කෙනෙකු නැත කියනු ඇති. ආචාර්ය ඩේවිඩ් සෑන්ඩ්ස් නමැති සුනඛයන් පිලිබඳ මනෝවිද්‍යාඥයා පවසන්නේ බල්ලෙකුට උගේ මරණය පෙර සිතා මතා සැළසුම් කළ නොහැක්කක් බවයි. මරණයට ආසන්නයේ සිටින සතුන් ඔවුන්ගේ අවසන් අවස්ථාව ගෞරවණීය ලෙස උදා කරගැනීම සඳහා නිහඬ සහ සන්සුන් ස්ථානයක් සොයනු ඇති බව ඔහු තව දුරටත් සඳහන් කරයි. එහෙත් එය කිසි ලෙසකින් වත් ව්‍යසනකාරී ශාරීරික තත්වයක් නොවේ.

කර්තෘ පෝල් ඕවන් විශ්වාස කරන්නේ පාලම හොල්මන් අරක්ගත් එකක් බවයි. ඕවර්ටුන් ආර්යාවගේ භූත ආත්මය 1908 දී ඇගේ ස්වාමිපුරුෂයාගේ මරණයෙන් පසු පාලම දිගේ ඇවිදිමින් සිටින බව ඔහුගේ මතයයි. ඔහු පාළම හා සම්බන්ධ ඔහුගේ අත්දැකීම් පිළිබඳව පොතක් ද ලියා ඇත.

1994 දී කෙවින් මෝයි නම් මිනිසෙකු විසින් සිදු කරන ලද බිහිසුණු ක්‍රියාවක් මෙහිදී සඳහන් කල යුතු වෙයි. තමා ක්‍රිස්තු විරෝධියෙකු බව පවසමින් 32 වන වියෙහි පසුවූ මෝයි ඔහුගේ අතදරු පුතා පාළමෙන් පහළට විසි කළේය. ඔහුද සියදිවි නසා ගැනීමට තැත් කළද, ඔහුගේ බිරිඳ ඔහුගේ ඇඟේ එල්ලී ඔහු ඉන් වැලක්වුවාය. නැවතත් පැය කිහිපයකට පසු ඔහු තම මැණික්කටුව පිහියකින් කපා ගැනීමට තැත් කළද එය අසාර්ථක වී අත්අඩංගුවට පත්විය.

මනෝවිද්‍යාඥ ආචාර්ය ඩේවිඩ් සෑන්ඩ්ස් අපේ කථාව වෙත නැවත එයි. වසර 2005 දී ඔහු ඕවර්ටුන් පාළමේ අභිරහස අනාවරණය කිරීම පිණිස වාර්තා චිත්‍රපට කැමරා කන්ඩායමක් සමග එහි ගියේය. හෙන්ඩ්‍රික්ස් නම්වූ මෙයට පෙර වතාවක් පාළමෙන් පැන දිවි ගලවා ගත් 19 හැවිරිදි වියේ පසුවූ බැල්ලක්ද ඔහු කැටුව ගියේය. මරණාසන්න අත්දැකීම ලැබූ ස්ථානයට ලං වන විට බැල්ල නොසන්සුන් වනු සෑන්ඩ්ස් නිරීක්ෂණය කළේය. ඔහු නිගමනය කලේ බැල්ලගේ සංවේදී ඉන්ද්‍රියන්ගෙන් එකක් යම් කිසි දෙයකට වඩා සංවේදී වන බව සහ පාලනය කල නොහැකි අයුරින් යමකට ප්‍රතිචාර දක්වන බවයි.

මනෝවිද්‍යාඥයා තීරණය කළේ බල්ලන් පාළමෙන් පැනීමට තරම් සංවේදීතාව දැක්වුයේ කුමකටදැයි සොයා ගැනීමටය. පාළමේ ආරක්ෂක තාප්පය නිසා බල්ලාගේ දෘෂ්ටිය සම්පුර්ණයෙන් අවට පරිසරයෙන් ආවරණය වී තිබුණි. දෙවනුව ඔහු කලේ බැල්ලගේ ශ්‍රවණ පරාසයට ග්‍රහණය වන යම් කිසි ධ්වනි තරංගයක් අවට පරිසරයේ පරිසරයේ පවතින්නේදැයි සොයා බැලීමය. එවන්නකුදු හමු වුයේ නැත. තෙවනුව ඔහු බල්ලන් ආකර්ෂණය වන්නාවූ යම් කිසි ගන්ධයයක් අවට පරිසරයේ තිබේදැයි සෙවීය.

පාළම අවට පරිසරයේ ලේනුන්, මීයන් සහ මින්ක් දිය බල්ලන්ගේ ඝහණ ඝනත්වය ඉතා අධික විය. බල්ලන් සඳහා වඩාත් ආකර්ෂණීය විය හැක්කේ මින් කුමන සතුන්දැයි යන්න සෙවීම සඳහා සෑන්ඩ්ස් දඩයම් බල්ලන් 10 දෙනෙකු තනි තනිව පරීක්ෂාවට ලක් කළේය. 70% ක් බල්ලන් ආකර්ෂණය වුයේ මින්ක් දිය බල්ලන් වෙතය. මින්ක් දිය බල්ලන්ගේ ඝන්ධය ඉතා තියුණු වෙයි. අඩි 20 ක් දුරින් සිටින මින්ක් දිය බල්ලකු ගේ ඝන්ධය මිනිසෙකුට දැනේ. වියළි දිනවල ආඝ්‍රහණ ශක්තිය ඉහළ යයි. බල්ලන්ගේ සියදිවි නසාගැනීම් ආරම්භය සහ ප්‍රදේශයේ මින්ක් දිය බල්ලන්ගේ බෝවීම සිදුවූ කාලය බොහෝ දුරට සමපාත වෙයි.

මෙම සිද්දාන්තය වඩාත් තර්කානුකුල වන නමුත් එය නිසැකවම නොවිසඳුනු ප්‍රශ්ණ කීපයක්ම ඉතිරි කර ඇත. එනම්, සියලු මරණ සිදුවන්නේ එම පාලමෙහි දකුණු පැත්තෙහි එකම ස්ථානයෙන් පැනීමෙන් වන්නේ කෙසේද?; මින්ක් දිය බල්ලන් වාසය කරන ස්කොට්ලන්තයේ හෝ වෙන කිසිදු ස්ථානයක ඇති අනෙකුත් පාලම් වලින් මෙවැනි සිදුවීම් වාර්තා නොවන්නේ මන්ද?

Tuesday, June 5, 2018

විහින් “මමී” වෙන ජපන් භික්ෂුන්

“මමි” එහෙමත් නැතිනම් කල් තබාගන්නට හැකි විදිහට සැකසූ මෘත ශරීර ගැන ඉතිහාසයේ මුලින්ම අපට අහන්නට ලැබෙන්නේ මිසරයෙන්. ආදි කාලීන මිසර වැසියෝ තමන්ගෙ මියගිය ඥාතීන්ගේ මළ සිරුරු නරක් නොවන විදිහට බෙහෙත් වර්ග ගල්වලා කාන්තාරයේ වැලි යට හැංගුවා. කාන්තාර වැල්ලේ තිබුණ අධික තාපය නිසා මලසිරුරු දිරාපත් වෙන්න බැරි තරමට විජලනය වුණා. ඒවායේ ගල්වපු බෙහෙත් වල රසායනික ක්‍රියාකාරිත්වයත් එක්ක එකතු වුණාම ඒ මළසිරුරු අවුරුදු තුන්දාහක් හාරදාහක් විතර කාලයක් තිස්සේ දිරන්නෙ නැතිව ආරක්ෂා වුණා. ඒ විතරක් නෙවෙයි විශේෂ ඖෂධ වර්ග යොදාගෙන මිසරයේ රාජකීයයන්, ප්‍රභූන් හා ධනවතුන් ගේ මළ සිරුරුත් මමී බවට පත් කෙරුණා. ඒ මළසිරුරු තැන්පත් කරන්න අති විශාල සොහොන් ගෘහයන් නිර්මාණය කෙරුණා. මිසරයේ “මමී” වගේම ඒ මමී තැන්පත් කළ සොහොන් ගෙවලුත් අදටත් අපට විස්මය ජනක නිර්මාණ.

මලවුන්ව “මමී” බවට පත් කළේ ආදි මිසර වැසියන් විතරක් නෙවෙයි. යේසුස් වහන්සේගේ සිරුරත් සුවද විලවුන්වල ගල්වලා කල් තබාගත් බව බයිබලයේ කියවෙනවා. මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ සිරුර මී පැණියේ බහා කල් තබා ගත්තා කියලත් අහන්නට ලැබෙනවා. ඒ වගේම ඖෂධීය තෙලක් පානය කළ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ දේහයත් කතෝලික සාන්තුවරයෙකුගේ නමින් මේ වෙනකොටත් ගෝවේ නගරයේ කෞතුකාගාරයක තැන්පත් කරලා තියෙනවා.

හැබැයි ඒ හැම තැනකදීම මමී බවට පත් කෙරුණේ එහෙමත් නැත්නම් මමීකරණය (mummification) කෙරුණේ මියගිය අය.

ඒත් ජීවත් වෙලා ඉදිද්දිම “මමියක්” බවට පත් වෙන්න කැමති අය ඉන්නවද.?

ජීවත්වෙලා ඉදිද්දිම මමියක් බවට පත් වෙනවා විතරක් නෙවෙයි. තමන් විසින්ම තමන්වම මමියක් බවට පත් කරගෙන, පණපිටින්ම මිහිදන් වෙලා, මරණය එනතුරු බලාගෙන ඉන්න අයත් ඉන්නවා. ඒක අනුන් වෙනුවෙන් කරන කැපකිරීමක්.

ඒ පුදුමාකාර කැපකිරීම කරන්නෙ ජපානයෙ බෞද්ධ භික්ෂුන් වහන්සේලා. මේ අමුතු චාරිත්‍රයට කියන නම තමයි “සොකුෂින්බුට්සු” (sokushinbutsu).

මේ ආගමික චාරිත්‍රය එකොලොස් වෙනි සියවසේ ඉදන් දහනව වෙනි සියවස දක්වා ජපානයේ හිටපු බෞද්ධ භික්ෂුන් වහන්සේලා අතර තිබුණ ආගමික චාරිත්‍රයක්.

මේ ස්ව-මමීකරණය හරිම අසීරු දෙයක්. පණපිටින් ඉන්නකොට කෙනෙක්ව මමීකරණය කරන එකත් ඔහුව පණපිටින් වලලන එකත් හරිම අමානුෂික දෙයක් විදිහට පෙනුණත් ඔවුන් මේක කරන්නේ උත්තරීතර අරමුණකින්. සාර්ථක විදිහට මමියක් බවට පත් වෙන අයව ජපානයේ “ජීවමාන බුදුවරයෙක්” විදිහට සලකලා වන්දනාමාන කෙරෙනවා.

සදාකාලිකව රැදී සිටින්න පුළුවන් “ජීවමාන බුදුවරයෙක්” බවට පත් වෙලා මිනිසුන්ගේ අධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් රැදී ඉන්න එකත්, මතු යම් දවසක මිනිසුන්ට විමුක්තිය ලබා දෙන්නට නැවත ඉපදීමත් තමයි මේ “ජීවමාන බුදුවරයෙක්” වීමේ අරමුණ.

ස්වයං මමීකරණය වෙලා ජීවමාන බුදුවරයෙක් බවට පත් වෙන එක ලේසි පාසු වැඩකුත් නෙවෙයි. ඒකටත් දුෂ්කර ක්‍රියාවක් කරන්න සිද්ධ වෙනවා. ඒක දින 3000 ක දුෂ්කර ක්‍රියාවක්.

මේ දුෂ්කර ක්‍රියාවෙන් කරන්නෙ තමන්ගෙ සිරුර සදාකාලික කෞතුක භාණ්ඩයක් බවට පත් කරන එකයි.

මේ ක්‍රියාවලියේ වැදගත්ම කොටස තමයි ආහාර පාලනය. ස්වයං මමීකරණය වෙන පුද්ගලයා මුලින්ම කරන්නේ සියලුම ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමෙන් වලකින එක. එතැන් පටන් දවස් දාහක කාලයක් තිස්සේ ඔහු ආහාරයට ගන්නේ තද ගතියෙන් යුක්ත ගෙඩි වර්ග සහ බෙරි විතරයි. දවස් දාහක කාලයක් තිස්සේ කිසිම ධාන්‍ය වර්ගයක් ආහාරයට ගන්නේ නෑ.

ඊට පස්සෙ එළඹෙන දවස් දාහ ඊටත් වඩා අසීරුයි. මුල් දවස් දාහ තුල ආහාරයට ගත්ත ගෙඩි වර්ගත් ආහාරයට ගන්න එක නවත්වනවා. ඊට පස්සෙ ආහාරයට ගන්නේ පයින් ගස් වල හීන් දිගටි කටුත්, ගස් වල පොතුත්, ගස් මැලියම් වර්ගත් විතරයි. මේ කාල සීමාවට කියන්නේ “ගස් ආහාරයට ගන්නා” කාලය හෙවත් Tree Eating period කියලා.

දවස් දෙදාහක් තිස්සේ කරපු දැඩි ආහාර පාලනය නිසා මේ භික්ෂුවගේ ශරීරය වියලෙන්න පටන් ගන්නවා. විජලනයත්, අධික හාමතත් නිසා සිරුරේ නහරවැල් පවා වේලෙනවා.

දවස් දෙදාහක් කියන්නෙ අවුරුදු පහකට වැඩි කාලසීමාවක්නෙ. ඒ තරම් දීර්ඝ කාලයක් තිස්සේ දැඩි ආහාර පාලනයක් කිරීම හේතුවෙන් ඒ භික්ෂුවගේ සිරුරේ තියෙන මේදයත් ජලයත් ක්‍රම ක්‍රමයෙන් මුලුමනින්ම ඉවත් වෙනවා. කෙනෙකුගේ මරණයෙන් පස්සෙ ශරීරය දිරාපත් කරන්න හේතුවෙන මූලිකම ද්‍රව්‍ය දෙක තමයි මේදය සහ ජලය. ඒ විතරක් නෙවෙයි. මේ විදිහේ ආහාර ක්‍රමයකට ශරීරය හුරුවීමත් එක්ක ඒ ශරීරය බැක්ටීරියාවන්ගේ හා කෘමීන්ගේ බලපෑම් වලට ඔරොත්තු දෙන්නත් හුරු වෙනවා.

මේ විදිහට ආහාර පාලනය කරලා හාමත් වෙන අතරේම මමිකරණය වෙන භික්ෂුන් විෂ සහිත ගෙඩි වර්ගත්, විෂ පැලෑටි වර්ගත් ටිකෙන් ටික කෑමට ගන්න පටන් ගන්නවා. ඊලග දින දාහ තුල සිදු කෙරෙන්නේ මේ විෂ වර්ග වලට ශරීරය හුරු කරන එක. ශරීරයට මේ විෂ වර්ග එකතු කරන්නේ ශරීරය තුළ ක්‍රියාකරන බැක්ටීරියාවන්ගේ ක්‍රියාකාරිත්වයත් කෘමීන්ගේ ආකර්ෂණයත් නැති කරන අරමුණින්. උරුෂි ගසේ පොතු වලින් හදාගත්තු ජපන් උරුෂි තේ ඒ වගේ එක විෂ සහිත පානයක්. ශරීරය හාමත් කරන අතරම මමීකරණය වෙන භික්ෂූන් මේ උරුෂි තේ පානය කරනවා. උරුෂි තේ වලින් භික්ෂුවට මරණය කරා ලගා වීම ඉක්මන් කරන අතරම බැක්ටීරියා වලත් කෘමීන්ගෙත් ආකර්ශනය නැති කරලා දානවා.

ස්වයං මමීකරණය කරන භික්ෂූන් තමන්ගේ මමීකරණ ක්‍රියාවලිය වෙනුවෙන් ඩායිනිචි බූ ප්‍රදේශයේ කාලයක් ගත කරනවා. මේ පලාතේ ඇති උල්පතක වතුර ඔවුන් මේ ක්‍රියාවලිය වෙනුවෙන් පාවිච්චි කරනවා. මේ උල්පතේ වතුර වල අධික ආසනික් සාන්ද්‍රණයක් තියෙනවා. මේ ආසනික් ජලය පානය කිරීමෙනුත් උරුෂි තේ පානය කිරීමෙන් වගේම ශරීරයේ විෂ තැන්පත් කරනවා. මේ විෂ මගිනුත් භික්ෂුවගේ මරණය ටිකෙන් ටික ඉක්මන් කරවනවා.

මේ තත්වයට කෑම බීම පාලනය කරලා ශරීරය වියලන අතරේම මේ භික්ෂුන් නිරන්තරවම භාවනා කිරීම මගින් මනසත් සූදානම් කරවනවා.

ඊට පස්සෙ ඔවුන් පුංචි කාමරයකට හෝ සොහොන් ගෙයකට ඇතුල් වෙනවා. එතැන තමයි පණ පිටින් වැලලී යන තැන. මේ සොහොන් ගෙය අඩි විස්සක් විතර ගැඹුරු වුණත් පලලින් නම් මිනිස් සිරුරකට වඩා ලොකු තැනක් නෙවෙයි. මේ පුංචි සොහොන් ගෙය තුළ භික්ෂුව පද්මාසනයෙන් හිදගන්නවා. ඒ අඩි දහයක් දොලහක් විතර ගැඹුරින්. එතෙක් පුරවලා තියෙන්නෙ ගල් අගුරු වලින්. භික්ෂුව ඒ කුටියේ පද්මාසනයෙන් වාඩි වුණාට පස්සේ ඔහුට හුස්ම ගන්නට උණ බටයක් විතරක් ඉතිරි කරලා ඔහුගේ බැතිමතුන් විසින් මේ කුහරයේ ඉහල කොටසත් ගල් අගුරු වලින් පුරවනවා.

එතන ඉදන් භික්ෂුවට ආහාර කිසිම දෙයක් ලැබෙන්නෙ නෑ. ඒත් දිගටම භාවනාවේ නම් යෙදෙනවා. භාවනාවේ යෙදෙන අතර වරින් වර ඔහුගෙ අතේ ගැටගහලා තියෙන නූලක් ආධාරයෙන් පිටතින් සවි කරලා තියෙන සීනුව නාද කරනවා. සීනුව නාද කරන්නෙ තමන් තවමත් ජීවතුන් අතර ඉන්න බව පිටත ඉන්න අයට දැනුම් දෙන්නයි. පණපිටින් මිහිදන් වෙලා භාවනා කරමින් ගත කරන කාලය කොතරම්ද කියලා නම් සදහනක් නෑ. කොහොම වුණත් සීනුව නාද වීම නැවතුණාම පිටතින් ඉන්න අය දැනගන්නවා භික්ෂුව මිය ගිහින් කියලා.

සීනු නාදය නතර වෙලා භික්ෂුව මිය ගිය බව තහවුරු වුණාට පස්සේ සොහොන් ගෙයට උඩින් තවත් ගල් අගුරු තට්ටුවක් අතුරලා සොහොන් ගෙය මුද්‍රා තියනවා. ඊට පස්සේ භික්ෂුවගෙ මල සිරුර තවත් දින දාහක් සොහොන් ගෙය ඇතුලේ තියෙන්න ඉඩ හරිනවා.

දවස් දාහකට පස්සේ සොහොන් ගෙය හෝ මිනීවල ඇතුලේ තියෙන ගල් අගුරු ඉවත් කරලා මළ සිරුර ගොඩ ගන්නවා. මල සිරුර දිරාපත් වෙන්න පටන් අරගෙන නම් ඒක වන්දනාමාන කරන්න සුදුසු එකක් කියලා සැලකෙන්නේ නෑ. ආගමික වතාවත් කිරීමෙන් පස්සේ පූර්ණ ගෞරවයත් එක්ක මළ සිරුරු කොටස් භූමදානය කෙරෙනවා. දවස් තුන්දාහක් තිස්සේ කෙරුණු අසීරු ව්‍යායාම අපතේ ගියා වගේ වෙනවා.

ඒත් මළ සිරුර දිරා නොයන තත්වයෙන් ඉතිරි වෙලා තියෙනවා නම් එතැන් ඉදන් ඒ භික්ෂුව පූජනීයත්වයට පත් වෙනවා. ඔහුව එතැන් පටන් ජීවමාන බුදුවරයෙක් විදිහට සැලකෙනවා. මල සිරුර දුම් ගස්සවලා හොදින් කල් තියාගන්න පුලුවන් විදිහට සූදානම් කරනවා. ඉතාමත් අලංකාර විදිහට කසාවත් අන්දවලා, රත්තරනින් සරසවලා කාටත් දැකබලාගන්න වන්දනාමාන කරන්න පුළුවන් විදිහට වීදුරු පෙට්ටියක තැන්පත් කරනවා. මෙහෙම තැන්පත් කරන්න කලින් මළ සිරුරේ ඇස් ඉවත් කරනවා. ඇස් ඉවත් කළත් මේ ජීවමාන බුදුවරයාට ජීවත් වෙන අයගේ ආත්මය පවා විනිවිද දකින්න පුළුවන් කියලයි ජපන් ජාතිකයින් විශ්වාස කරන්නේ.

වර්තමානයේදී නම් මේ අමුතු චාරිත්‍රය සිද්ධ වෙන්නෙ නැති තරම්. ඒත් ක්‍රි.ව. 1081 ඉදන් ක්‍රි.ව. 1903 දක්වා කාලය ඇතුලත භික්ෂුන් වහන්සේලා සිය ගණනක් මේ විදිහට “ජීවමාන බුද්ධත්වය”ට පත් වෙන්න දුෂ්කර ක්‍රියා කරලා තියෙනවා. එ් අතරින් තමන්ගෙ වෑයම සාර්ථක කරගන්න පුලුවන් වෙලා තියෙන්නේ විසිහතර දෙනෙකුට විතරයි. ඒ කියන්නේ මේ වෙනකොට මමීකරණය වුණු සිරුරු හමුවෙලා තියෙන්නේ භික්ෂූන් විසිහතර දෙනෙකුගේ විතරයි.

දැනට ලිඛිත වාර්තා තියෙන විදිහට නම් මේ අමුතු ගුප්ත චාරිත්‍රය මුලින්ම අත් හදා බලලා තියෙන්නේ නව වෙනි ශතවර්ශයේ ජීවත් වුණු කුකායි කියන භික්ෂුව. ඔහුගෙන් පසුව සියවස් දෙකක් තිස්සේ මේ වෙනුවෙන් අත්හදා බැලීම් කෙරෙන්න ඇති. 1081 අවුරුද්දේදී කුකායි භික්ෂුව අනුගමනය කරමින් ෂෝජින් කියලා තවත් බෞද්ධ භික්ෂුවක් පණපිටින් මිහිදන් වෙලා තියෙන බවට සටහන් තියෙනවා. ඔවුන් දෙදෙනාගේම අරමුණ වෙලා තිබුණේ මතුයම් දවසක මනුෂ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙන් නැවතත් පැමිණීම තමයි. මරණය මුලා කිරීමත්, සදාකාලික භාවනාවත් මගින් ඒ අරමුණ සාර්ථක කරගන්න පුළුවන් කියලා ඔවුන් විශ්වාස කළා.

1903 අවුරුද්දේදී ජපානය තුළ මේ සොකුෂින්බුට්සු චාරිත්‍රය නීතියෙන් තහනම් කෙරුණා.

සොකුෂින්බුට්සු දුෂ්කර ක්‍රියාව සාර්ථක වෙලා ජීවමාන බුදුවරයෙකුගේ තත්වයට පත් වෙලා වැදුම් පිදුම් ලබන භික්ෂු මමී තවමත් ජපානයේ සමහර විහාරස්ථාන තුල දැකගන්න පුලුවන්. ඩයිනිචිබෝ නම් ජපන් විහාරස්ථානයේ තවමත් තියෙන ෂින්යෝකායි නැමති භික්ෂුවගේ මමිය ඒකට උදාහරණයක්. ඔහු මමියක් බවට පත් වෙලා තියෙන්නේ 1783 අවුරුද්දෙදි. ඔහුට වයස අවුරුදු අනූ හයේදී. මේ වෙනකොටත් ඒ මමිය ඉතාමත් හොද තත්වයේ තියෙනවා. මේ මමියට අන්දවලා තියෙන අලංකාර වස්ත්‍රාභරණ හැම අවුරුදු හයකට වතාවක්ම මාරු කරනවා. එහෙම මාරු කරලා ඉවත් කරන වස්ත්‍ර පුංචි පුංචි කෑලි වලට කපලා ඒ කෑලි පුංචි මංජුසා වල තැන්පත් කරලා බැතිමතුන්ට විකුණනවා. ඒවා විකිණෙන්නේ අධික මුදලකට. ඒත් මේ පුංචි මංජුසා වලින් වාසනාව ගෙන එනවා කියලා ජපන් ජාතිකයින් විශ්වාස කරනවා.

ඒ මංජුසා වලින් වාසනාව ගෙන එනවාද නැත්ද, මමිකරණය වෙන භික්ෂුව ජීවමාන බුදුවරයෙක් බවට පත් වෙන්නෙ කොහොමද වගේ ගැටලු ඇති වෙන්නත් පුළුවන්. ඒත් වැදගත්ම දේ වෙන්නේ ඔවුන් මේ චාරිත්‍රය සිදු කරන අරමුණ. මනුෂ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙන් නැවත ලෝකයට පැමිණෙවා කියන අරමුණ. එ් වගේ පරාර්ථ කාමී අරමුණක් වෙනුවෙන් තමන් ජීවමාන මළ සිරුරක් බවට පත් වීම, පණපිටින් මිහිදන් වීම තරම් කැපකිරීමක් කිරීම නම් ඇත්තෙන්ම ගෞරවයට ලක් විය යුතු දෙයක්.

මහා ගල් පර්වත තුනක දිගේ තනිව දිය අගලක් කපා ගමකට ජලය දුන් විස්මිත මිනිසෙක්...

අභියෝගයන්ට මුහුන දීමේ හැකියාව සෑම පුද්ගලයෙකුටම නැති උවද ඇතැම් පුද්ගලයින් අභියෝගයන් ජයගන්නේ ලොවම විස්මයට පත් කරමින්..ඒ අයුරින් පානීය ජලය නැ...