Thursday, May 10, 2018

රෝම ශිෂ්ටාචාරයේ පිළිකුලට ලක් වන කරුණු

රෝම ශිෂ්ටාචාරය මිනිස් සංහතිය දැන සිටින පරිදි ශ්‍රේෂ්ඨතම ශිෂ්ටාචාරයන් ගෙන් එකක් ලෙස සැලකේ. රෝමවරු සෑම ක්ෂේත්‍රයකම පාහේ විශිෂ්ඨ වූ අතර සෑම ක්ෂේත්‍රයකින්ම පාහේ විශාල දියුණුවක් ලබා තිබුනේ අප පුදුමයට පත්කරමිනි. එහෙත්, ඔවුන් කළ සමහර දේ සහ පුරුදු කිහිපයක් අපගේ දැඩි පිළිකුලට ලක් වෙයි. ඔබ දැන් ඉගෙන ගන්න යන මේ කරුණු, මේ වර්තමාන යුගයේ ඔබ ජීවත් වීමට සිදුවීම පිළිබඳව සතුටක් ගෙනදේවි. ඉතින්, අපි පටන් ගනිමු.
අපට විශ්වාස කිරීමට පවා අපහසු අන්දමින් රෝම ජාතිකයෝ මුත්‍රා එදිනෙදා කටයුතු වලට යොදාගත්හ. වඩාත් කදිම ක්‍රමයක් වූයේ ඔවුන්ගේ වස්ත්‍ර පිරිසිදු කිරීම සඳහා මුත්‍රා භාවිතයයි. ඔවුන්ගේ ටෝගා (පුරාණ රෝම ඇඳුමකි) මේ ආකාරයෙන් සේදීමෙන් පසුව නව වස්ත්‍රයක් මෙන් බැබළෙන බව විශ්වාස කළහ. එය අද අපි භාවිත කරන "ඩ්‍රයි ක්ලීනිං" වැනි ක්‍රමයක් විය. නිවෙස් ඉදිරිපිට බඳුනක් තබා තිබූ අතර ඕනෑම කෙනෙකුට එයට මුත්‍රා කිරීමට හැකි විය. ඔවුහු පොදු නානකාමර වලින් පවා මේ සඳහා මුත්‍රා එකතු කළහ. මේ කාලය තුළ රෝම අධිරාජ්‍යයා වූ වෙස්පසියන් මුත්‍රා සඳහා බද්දක් අය කළේය.

මෙම මුත්‍රා බද්ද පැනවූ පසු, කෝපයට පත් රෝමානුවෝ මුත්‍රා එකතු කරන භාජන වලට "වෙස්පසියන්" යන නම පටබැන්දහ. වෙස්පසියන්ගේ පුත් ටයිටස්ට මෙම මේ බව දැනගන්නට ලැබුණි. කලබල වූ ඔහු පියා ගෙන් ගඳ ගසන මුත්‍රා වලට බද්දක් පැනෙව්වේ මන්දැයි ඇසීය. වෙස්පසියන් රෝමානු කාසියක් ගෙන එය ඉඹින්න යයි ටයිටස්ට කීවේය. කාසිය ඉඹි ටයිටස්ට වෙස්පසියන් මෙසේ පැවසුවේය. "දැන් තේරුනාද? සල්ලි ගඳ ගසන්නේ නැත".
මුත්‍රා භාවිත කළ වෙනත් අවශ්‍යතාවක් වූයේ සතුන්ගේ රෝග සුව කිරීමයි. පිත්තාශයේ ගැටළු වලින් පෙළුණු බැටළුවන්ට මිනිස් මුත්‍රා බලෙන් පෙවූ අතර ශ්වසන රෝගවලින් පීඩා විඳින බැටළුවන්ට නාස් පුඩු තුලින් මුත්‍රා ඇතුල් කරන ලදි. මී මැස්සන් සහ පක්ෂීන්ටද මුත්‍රා ලබා දෙන ලදී. කුරුළු උණට මනුෂ්‍ය මුත්‍රා ප්‍රතිකාරයක් විය.
එමෙන්ම සම් පදම් කිරීම සඳහා මුත්‍රා සහ මලපහ භාවිතා කළහ. නුමුහුන් මුත්‍රා වල පොඟවා ගත් සම මලපහ නිසා වඩාත් සුනම්‍ය වූ බව ඔවුහු විශ්වාස කළහ. ඒවා පොහොර ලෙසද භාවිතා කරන ලදී. මුත්‍රා හා මළපහ එකතු කර විකුණනු ලැබූ බවට වාර්තා තිබේ. කලින් සඳහන් කළ පරිදි මෙසේ එකතු කිරීම වෙනුවෙන් බදු අය කෙරිණ.
දෙළුම් ගසට මුත්‍රා ලබා දුන් පසු පලතුරු වඩා රසවත්වන බව සහ ඉස්ම වැඩි වන බවට විශ්වාස කළහ.
රෝමවරුන් මුත්‍රා භාවිත කළ පිළිකුල්ම ආකාරය දත් සුදු පැහැ ගැන්වීම සඳහා විය. කට සේදීම සඳහා මුත්‍රා භාවිතා කිරීමෙන් දත් මුතු ඇට මෙන් සුදු පැහැ ගැන්වෙන බවට ඔවුහු විශ්වාස කළහ.
රෝමවරු ඔවුන්ගේ මළ පවාහන පද්ධති සහ පොදු වැසිකිළි සඳහා ඉතා ජනප්‍රිය වූහ. නමුත් මෙම පොදු වැසිකිළි ඉතා අපිරිසිදු වූ බව මේ වන විට අනාවරණය වී ඇත. පුරාවිද්‍යාඥයින්ට අනුව පොදු වැසිකිළි කිසි දිනෙක පිරිසිදු කර නැති අතර ක්ෂුද්‍ර ජීවීන්ගෙන් පිරී පැවතී ඇත. වැසිකිළිය තුලදී උකුණන්, කිනිතුල්ලන් සහ අනෙකුත් කෘමීන් ඉවත් කිරීම සඳහා විශේෂිත වූ පනාවක් උපයෝගී කළහ.
මේ සියල්ලටම වඩා පිළිකුල ගෙන දෙන්නේ වැසිකිළි භාවිතයෙන් පසු ඔවුන් පිරිසිදු වූ ආකාරයයි. ලී මිටකට සවිකරන ලද ස්පොන්ජයක් ඒ සඳහා යොදා ගත් අතර එකිනෙකා අතර හුවමාරු කරගත් නමුත්, වැසිකිළි මෙන්ම කිසි දිනෙක පිරිසිදු නොකරන ලදී.
පොදු වැසිකිළි භාවිතයේදී ගැටළු දෙකක් (ඉහත සඳහන් කළ ඒවාට අමතරව) ඇති විය. මුල්ම ගැටලුව වූයේ බඩගා යන සර්පයින්ගෙන් සහ පණුවන්ගෙන් ඇතිවූ අවදානමයි. දෙවන ගැටළුව වූයේ මීතේන් වායුව පිපිරීමයි. වැසිකිළි පිරිසිදු කර නොතිබූ නිසා සහ ඒවා බහුලව භාවිතා කළ බැවින් මීතේන් වායුව ඒකරාශී වීම නිසා වැසිකිලි පුපුරා ගියේය.

Wednesday, May 9, 2018

කොකෝ ඩී මර් (Lodoicea maldivica)

සීෂෙල්ස් හි Praslin සහ Curieuse යන දූපත් වලට අනන්‍යවූ, ලෝකයේ වඩාත්ම කැපී පෙනෙන තාල වර්ගයේ ගස් වලින් එකක් වර්ධනය වේ. කොකෝ ඩී මර් (විද්‍යාත්මක නාමය: Lodoicea maldivica) පොළවේ සිට මීටර 30 ට වඩා ඉහළ උසකට වර්ධනය වෙයි.

කොකෝ ඩී මර් (ප්‍රංශ භාෂාවෙන් තේරුම මුහුදු පොල්) හි වඩාත් ප්‍රකටතම ලක්ෂණය වන්නේ ශාක ලෝකයේ ඇති විශාලතම සහ බරම බීජ දැරීමයි. එහෙත් කොකෝ ඩී මර් ප්‍රසිද්ධියට පත් වූයේ බීජ වල ප්‍රමාණය නිසා නොව එහි හැඩය නිසාවෙනි. බීජ වල ස්වරූපය ස්ත්‍රියකගේ නිතඹේ හැඩය ගනියි. ඇත්ත වශයෙන්ම, කොකෝ ඩී මර් හි පුරාණ උද්භිද විද්‍යා නාමය නම් Lodoicea callipyge වෙයි. callipyge යනු ග්‍රීක් භාෂාවෙන් "ලස්සන නිතඹ" යන්නයි.

කොකෝ ඩී මර් ලෝකයේ වෙන කිසිදු ශාකයකට වඩා කතා බහට ලක්වී ඇති, කුතුහලයක් සහ පුරාවෘත්තයක් සහිත ශාකයක් වෙයි. මීට සියවස් ගණනාවකට පෙර, සීෂෙල්ස් දූපත් සොයාගැනීමටත්, වාසය කිරීමටත් පෙර, කොකෝ ඩී මර් බීජ මාලදිවයින වැනි එම ශාකය නොවැඩුණු, බොහෝ දුරින් පිහිටි වෙරළ තීර වල දක්නට ලැබුණි. ඒවා වෙරළ තීරයෙන් එකතු කොට වෙනත් රටවල් සමඟ වෙළඳාම් කෙරිණි. එහි බීජයේ අද්විතීය හැඩය සහ ප්‍රමාණය නිසා මෙන්ම වාජී කරණ ශක්තියක් ඇතැයි සැළකූ නිසා වඩාත් ප්‍රචලිත විය. එය මාලදිවයිනේ වෙරළ වලින් හමුවූ නිසා, මාලදිවයින් පොල් ලෙසද හැඳින්වේ. මෙය තවමත් එහි වර්තමාන විද්‍යාත්මක නාමය වන Lodoicea maldivica තුලින් පිළිබිඹු වේ.

කොකෝ ඩී මර් මුහුදට වැටෙන විට එහි දැවැන්ත බර හා ඝනත්වය නිසා එය පාවී යන්නේ නැත. ඒ වෙනුවට එය මුහුදු පත්ලට ගමන් කරයි. මුහුදු පතුල මත සැලකිය යුතු කාලයක් ගත කිරීමෙන් පසු එහි ලෙල්ල දුර්වල වීමට පටන් ගනී. බීජයේ අභ්‍යන්තර කොටස් දිරා යන අතර එයින් නිපදවෙන වායුව නිසා නැවතත් බීජය මුහුදේ පාවීමට හේතු වේ. බොහෝ නැවියන් මුහුදු පතුලේ සිට බීජ ඉහළට නැගීම දැක ඇති අතර, ඉන්දියන් සාගරයේ පතුලේ වන වනාන්තරයක පිහිටි ගස් මත වැඩී ඇති බව සිතූහ. මෙම මතය එම ගසේ නම "coco de mer" නොහොත් "මුහුදේ පොල්" යනුවෙන් හැඳින් වීමට හේතුවිය.

එම කාලයේ දී කොකෝ ඩී මර් බීජ, සාගරයේ හෝ වෙරළ තීරයේ හමුවූ සියලු බීජ වර්ග වලට වඩා ඉතා ඉහල වටිනාකමකින් යුක්ත වූ අතර රජුගේ අයිතියට යටත් දේ බවට පත් විය. රජුගේ අනුදැනුම යටතේ ඉහල මිලකට විකිණීම හෝ රාජකීය තෑගී ලෙස ලබා දෙන ලදි. මැද පෙරදිග රජ වරුන් සහ ශුද්ධවූ රෝම අධිරාජ්‍යයා වූ II වන රුඩොල්ෆ් පවා මෙම දුර්ලභ නිධානය සඳහා ඉහළ අගයක් ලබා දුනි.

18 වන ශතවර්ෂයේ මැද භාගය වන විට ශාකයේ ජන්ම භුමිය සීෂෙල්ස් බව අනාවරණය විය. ගවේෂකයෝ තවත් පුදුමයට පත් වන දෙයක් සොයා ගත්හ. පොල් ශාකය මෙන් නොව, කොකෝ ඩී මර් පිරිමි හා ගැහැණු ශාක වෙනම ඇත. මෙම නිතඹ හැඩැති බීජ ගැහැණු ගසෙන් නිපදවුණ අතර පිරිමි මල් පුරුෂ ඉන්ද්‍රියක හැඩය ගනී. මිනිස් ප්‍රජනක අවයව වලට සමානත්වයක් දැක්වීම නව ජනප්‍රවාදයකට තුඩු දුන් අතර, එනම් අඳුරු කුනාටුවලින් යුත් රැයකදී කිසිවෙකුගේ ඇස නොගැටෙන විට, ගස් පොළවෙන් ඉවත්වී ලිංගිකව හැසිරෙන බවයි. මෙම පුරාවෘත්තය අනුව, මේ අවස්තාවේදී ගස් දකින ඕනෑම අයෙකු මිය යාම හෝ අන්ධ වීම සිදුවෙයි. අදටද කොකෝ ඩි මර් පරාගනය වීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම වටහාගෙන නොමැත.

1881 දී සීෂෙල්ස් හි Praslin දිවයිනට අයත් Vallée de Mai පෙදෙසට පැමිණි බ්‍රිතාන්‍ය යුද හමුදාවේ මේජර් ජෙනරාල් චාල්ස් ජෝර්ජ් ගෝර්ඩන් සිතුවේ තමන් ගොඩබැස්සේ බයිබලයේ සඳහන් වන ඊඩ්න් නමැති උයන වෙතට බවය. උද්‍යෝගිමත් ක්‍රිස්තියානි විශාරදයෙකු වූ ගෝර්ඩ්න් කොකෝ ඩී මර් වල හැඩය දුටු අතර, එය ඒව ආදම්ට පූජා කළ තහනම් එලය බවට විශ්වාස කළේය.

වර්තමානයේ අපූර්ව කොකෝ ඩී මර් උද්භිද වාර්තා 5ක් වාර්තා කරයි:
(1) එය කිලෝ ග්රෑම් 42 දක්වා බරැති විශාල එල නිෂ්පාදනය කරයි.
(2) කිලෝ ග්රෑම් 17.6 ක් බරින් යුත් බීජ ලෝකයේ බරම බීජ වෙයි.
(3) එය දිගින් මීටර් හතරක් දක්වා වූ දීර්ඝතම බීජ පත්‍ර නිෂ්පාදනය කරයි.
(4) ගැහැණු මල් ඕනෑම තාල වර්ගයේ ශාකයකින් විශාලතම වෙයි.
(5) එය දිරාපත්වූ පත්‍ර වලින් ඉහලම පෝෂණ ගුණයක් ලබා දීමේදී වඩාත් කාර්යක්ෂම වෙයි.

ලංකාවේ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ දක්නට ලැබෙන කොකෝ ඩී මර් ශාකයේ චායාරුපයක් මෙහි දැක්වේ.




දුටුගැමුණු රජු එදා රුවන්වැලි මහා සෑය ඉදිකරපු හැටි ගැන කියවෙන පුදුම හිතෙන විස්තරය..

අපේ රටේ සමහර කතා පුවත් හරිම පුදුමාකාරයි. මොනතරම් පුදුමුසහගත උනත් ඒවා සැබෑවටම සිදුවූ දේවල්. රුවන්වැලිසෑය ඉදිකිරීමත් ඒ වගේ පුදුමාකාර සිදුවීමක්. සමහරවිට අතිශෝක්තියක් කියලත් හිතෙයි. නමුත් රුවන්වැලිසෑය කියල එකක් තාමත් මේ කියන විදිහටම තියෙනවා කියන එක හිතේ රදවාගෙන මෙය කියවා සාදු සිතින් පින් අනුමෝදනා කරගන්න. මේ අපේ අභිමානවත් සම්බුද්ධ රාජ්‍යයේ තවත් උරුමයක්.

ශ්‍රී ලංකාවේ පිහිටි ස්ථූපයක් වන රුවන්වැලි සෑය එහි ඇති වාස්තු විද්‍යාත්මක ගුණාංග සහ ආශ්චර්යමත් බව නිසා ලොව පුරා බෞද්ධ ජනතාව අතර පූජනීය තත්වයට පත්වී ඇති ස්ථූපයක්. මෙම ස්ථූපය සොලොස්මස්ථාන (පූජනීය ස්ථාන දහසය) සහ අටමස්ථාන (අනුරාධපුරයේ පූජනීය ස්ථාන අටකි.) අතරින් එකකි. උසින් අඩි 300ක් (මීටර් 92) සහ අඩි 950ක (මීටර් 292) විෂ්කම්භයකින් යුක්ත වන මෙය ලෝකයේ දැනට පවතින උසම ස්මාරක අතරින් එකක් වෙනවා.

පුරාණ ග්‍රන්ථ වලට අනුව,අනුරාධපුර රාජධානියට, යොදුනක් (දුර මනින මිම්මකි.) උතුරු දෙසින් පිහිටි ගම්භීර නදියේ ඉවුරෙන් ගත් මැටි වලින් සෑය ඉදිකිරීම සඳහා ගඩොල් තනන ලද අතර, යොදුන් තුනක් ගිණිකොන දෙසින් වූ අවුරුවිනී ග්‍රාමයෙන් රන් කැටි ලබාගන්නා ලද බව පැවසෙනවා. යොදුන් හතක් නැගෙනහිර දෙසින් වූ තම්බපින්න ග්‍රාමයෙන් තඹ ද, යොදුන් සතරක් ගිණිකොන දෙසින් පිහිටි සමන්වැව ග්‍රාමයෙන් මැණික් ද ගෙන්වා ගත්බවට කියැවේ. යොදුන් අටක් දකුණු දෙසින් පිහිටි රිදී නැමැති ගල් ගුහාවෙන් රිදී සහ යොදුන් පහක් බටහිර දෙසින් පිහිටි උරුවෙල් නම් කුඩා නගරයෙන් නෙල්ලි ගෙඩියක ප්‍රමාණයේ වූ මුතු සහ පබලූ ගෙන්වන ලදී.

යොදුන් සතරක් වයඹ දෙසින් වූ පැලවාපි ග්‍රාමයෙන් විශාල ප්‍රමාණයේ මාණික්‍යය සතරක් ගෙන්වන ලදී. දුටුගැමුණු රජතුමා විසින් මැයි මස යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහොය දින, විශාඛා නක්ෂත්‍ර මණ්ඩලය යටතේ ස්ථූපයේ වැඩ කටයුතු අරඹන ලදී. වෙසක් පුන් පොහෝ දිනය බෞද්ධාගමට අනුව ඉතා පූජනීය පසළොස්වක පොහොය දිනයක් ලෙස සැලකේ. ඒ මන්ද යත්, සුමේධ තවුසා දීපංකර බුදුරජාණන් වහන්සේ හමුවේ, ඒකාන්ත ලෙසම බුදුවන බවට නියත විවරණ ලැබීමත්, මෛත්‍රී බෝධිසත්ව ගෞතමයන් වහන්සේ (බෝධිසත්ව ගෞතමයන් වහන්සේගේ පෙර ආත්ම භාවයකි. ) තුසිත දිව්‍ය ලෝකයේ සිට මනුෂ්‍ය ලෝකයේ ප්‍රතිසන්ධිය ලැබීමත්, බුදුරජාණන් වහන්සේ කපිලවස්තු පුරයට වැඩම කිරීමත්, බුදුරජාණන් වහන්සේ ලංකාවට තෙවරක් වැඩම කිරීමත්, සම්බුද්ධ පරිණිර්වානය, දේවානම්පියතිස්ස රජතුමාගේ රාජාභිෂේකය යන මංගල කරුණු වෙසක් පුර පසළොස්වක පොහොය දිනයක සිදුවූ නිසාවෙනි.

එක් පුන් පොහෝදිනයක, දුටුගැමුණු රජු, දේවානම්පියතිස්ස රජ විසින් ස්ථාපනය කළ අභිලිවිත් ශිලා ලිපිය ඉවත් කරන ලදී. පසුව භූමිය සමතලා කර රියන් හතක ගැඹුරට හාරා එහි යුධ භටයන් ලවා වක්‍රාකාර ගල් අතුරන ලදී. ගල් මිටියෙන් කඩන ලද අතර, ඇතුන් ලවා පාගවා ගල් ස්ථරය මත ගඩොල්ද, ගඩොල් මත රළු බදාමද, රළු බදාමය මත තිරුවාණද, තිරුවාණ මත යකඩ ජාලයක්ද, යකඩ ජාලය මත සුවඳැති මැටිද, සුවඳැති මැට්ට මත සුදු පාෂාණද, සුදු පාෂාණ මත සෙල් පිලිමිණිද, ඒ මත ගල් පුවරුද අතුරවන ලදී.

ඉන්පසු රසදිය, අලිගැටපේර ලාටු හා පදම් මැටි එක්කර මිශ්‍රණයක් සාදවා ගල් පුවරු ඒ මත අතුරුවා, ඒ මත අගල් අටක ඝනකම් ඇති ලෝකඩ පත් අතුරවා එම ලෝකඩ පත් මත ආසනියම් හා තල තෙල් එකට මිශ්‍ර කර අතුරවා ඒ මත අගල් හතරක් ඝනැති රිදී පත් තැන්පත් කරවන ලදී.

රජු මෙසේ මේ මහා සෑයේ අඩිතාලම සාදවා නිමකර, අත්තිවාරම් ගල ඇසළ පුර පසළොස්වක පොහෝ දින ස්ථාපනය කිරීමට කටයුතු පිළියෙල කර ඇත. ඉන්පසු රජු විසින් අනුරාධපුර නගරය සහ රුවන්වැලි සෑ මළුව දිව්‍යමය පුරවරයක් සේ සරසවා ඉන්දියාවෙන් අනූහය කෝටියක් රහතුන් වහන්සේලා වැඩම කළහ. ඇසළ පුරපසළොස්වක පොහෝ දින, උත්තරසීහ තාරකා මණ්ඩලය යටතේ මහා සෑයේ අත්තිවාරම් ගල ස්ථාපනය කර ර්‍ණමා මේ ස්ථූපය වෙනුවෙන් කරනා ක්‍රියාවන් සාර්ථකව නිම කිරීමට හැකිවේවා“. එවිට බුද්ධරක්ඛිත, ධම්මරක්ඛිත, සංඝ රක්ඛිත හා ආනන්ද රහතුන් වහන්සේලා මහා සෑ මලුවේ සතර දිශාවෙන් නැගීසිටීවා”කියා අධිෂ්ඨාන කළහ. එසේ අධිෂ්ඨාන කල පරිදිම පූජ්‍ය සිද්ධත්ත, මායිගල, පදුම, සීවලී, චන්දගුත්ත, ඉන්දගුත්ත, සූරියගුත්ත, සිත්තසේන, ජයසේන හා අකල රහතුන් වහන්සේලා නැගෙනහිර දෙස බලා උත්සව අවස්ථාවේ දොරටුව අසළ තිබූ කොතළය ඉදිරිපිට සිටගත්සේක.

නන්දිසේන, සුමනා දේවියගේ පුත් සුපටින්හිත හා උත්සව මංගල්‍යය සඳහා පත්කෙරුණු ඇමතිවරයා, ධාතු මන්දිරය වටා සක්මන් කර මහා සෑයේ වක්‍රාකාර සීමාව මැනීම සඳහා රිදීයෙන් තැනූ යශ්ටියක් ගෙනෙන ලදී. ඇමතිවරයා මේ අයුරින් ධාතු මන්දිරය වටා ඉතා විශාල පරිමාණයක් මනිමින් යනු දැක සිද්ධත්ත රහත් තෙරුන් ඔහුට මධ්‍යම ප්‍රමාණයෙන් මනින ලෙස උපදෙස් දුන්හ. සිද්ධත්ත තෙරුන්ගේ, ඇමතිවරයාගේ හා ඔහුගේ දෙමාපියන්ගේ නම් ඇසීමෙන් දුටුගැමුණු රජු ස්ථූපයේ වැඩ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේ” යැයි සිතා සතුටට පත්ව එතුමා විශාල රන් කළ අටක් හා රිදී කළ අටක් මහා සෑය මධ්‍යයේ ස්ථාපිත කර ඒ විශාල දිය කළ වටා පුන්කළස් එකසිය අටක් තැන්පත් කළේය.මේ අයුරින් ඔහු රත්‍රන් ගඩොල් අටක් අට කොනේ තබා තැන්පත් කර ඒ වටා රිදී ගඩොල් එකසිය අට බැගින් තැන්පත් කළේය.

සිත්තසේන රහතන් වහන්සේ මහා සෑය වටා ඇඳ තිබූ සීමා රේඛාවේ නැගෙනහිර ප්‍රදේශයේ සුවඳැති ලාටු පිඩක් තැන්පත් කළසේක. ජයසේන රහතන් වහන්සේ උත්තරසීහ සහ සුපටින්හිත තාරකා මණ්ඩලය යටතේ ඒ මත පිරිත් පැන් ඉසින විට උත්සව මංගල්‍යය භාර අමාත්‍යවරයා ඉසින ලද පිරිත් පැන් මත රන් ගඩොල් සහ අධික ලෙස ධනය වැයකොට කරන ලද පූජාවන් තැන්පත් කළේය. ජනප්‍රවාදයේ සඳහන් පරිදි මේ අවස්ථාවේදී දෙලක්ෂ හැත්තෑදහසක් යොදුන් වූ දෙරණ තලය ගිගුම් දෙමින් කම්පා විය.

පුතුන් ලවා මේ ආකාරයෙන් මහා ස්ථූපයේ අනෙකුත් දිසා සතෙහිද රන් ගඩොල් තැන්පත් කරවන ලදී. ඉන් පසුව මළුවේ සතර දිසාවේ වැඩ සිටි රහතන් වහන්සේලාට පිරිකරාදිය පූජා කළ දුටුගැමුණු රජතුමා ඇතුළු ජනතාව පියදස්සී මහ රහතන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කිරීම සඳහා අසුන් ගත්හ. එම ධර්මය ශ්‍රවණය කිරීමෙන් හතළිස්දහසක් පිරිස අරහත් භාවයට පත් විය. හතළිස්දහසක් පිරිස සෝවාන් ඵලයට පත් විය. දහසක් පිරිස සකෘදාගාමී තත්වයටත් තවත් දහසක පිරිසක් අනාගාමී තත්වයටත් පත් විය.

අද්විතීය රුවන්වැලි මහා සෑය හතරැස් කොත් දහය දක්වා රහතුන් වහන්සේලාගේ ආරක්ෂක සූත්‍ර සඡ්ජායනා මධ්‍යයේ නිමවෙද්දී, විසි සතර වසරක් ලක්දිව පාලනය කළ ගැමුණු රජු, ඔහු විසින් කරන ලද පින් ඇතුළත් පොත කියවා මහා සෑය දෙස බලා සිටියදී මියැදී දිව්‍ය පුත්‍රයකුව තුසිත දෙව්ලොව උපත ලද්දේය. එතුමාගේ සහෝදර සද්ධාතිස්ස රජතුමා සෑයේ ඉතිරි වැඩ කොටස නිමකර, මරණයෙන් පසු තුසිත දෙව්ලොව උපන්නේය.

මරණාසන්න වූවන්ගේ අත්දැකීම්..

මේ කියන මහාචාර්ය ‘පින් වැන් ලෝමල්’ හට මරණාසන්න වූවන් පත් වන සිද්ධිවලට සම්බන්ධ කතන්දර, හුදු කතාන්දරවලට සීමා නොකොට මේවා ඇත්තද කියා විද්‍යාත්මකව සොයා බලන්න ඕනෑ වුණා. ඔහු මේ පිළිබඳ කළ පර්යේෂණය සම්බන්ධව සුප්‍රසිද්ධ වෛද්‍ය විද්‍යා සඟරාවක් වූ ‘ද ලන්සෙට්’ සඟරාවේ 2008 කලාපයේ පළ වී තිබෙනවා.

ඔහුගේ පර්යේෂණයට පාදක වුණේ නෙදර්ලන්තයේ රෝහල් දහයක්. ඔහුගේ නියැදි කණ්ඩායම වූයේ මේ රෝහල් දහයට ඇතුළු වන හෘදයාබාධ සෑදී හෘදයේ ධමනි හිර වීමෙන් රෝගාතුර වී, එහෙත් පණ රැකගත් රෝගීන්. හෘදයේ ධමනි හිර වීමෙන් රෝගාතුර ව රෝහලට පැමිණි සෑම රෝගියකුටම ඔහු ප්‍රශ්නාවලියක් දුන්නා. මේ ප්‍රශ්නාවලියෙන් අසා තිබුණේ හෘදයාබාධය උත්සන්න වී සිහිසුන්ව, නැත් නම් තාවකාලික මරණයට පත් වූ කාලපරාසයක් ගැන ඔවුන්ට කිසියම් මතකයක් තිබෙනවාද යන්නයි.

ඒ වගේම සැත්කම් කාමරයේදී සිදු වූ දේවල් ද ඔහු වාර්තා කර තැබුවා. මේ මගින් ඔවුන්ගේ මතකයන්ගේ නිරවද්‍යතාව පිරික්සා බලන්නට හැකි වුණා. ඔහුගේ පර්යේෂණයට භාවිත වූ නියැදියෙන්, හෘදයාබාධයට ලක් වී තාවකාලික මරණයට පත් වූවන්ගෙන් සියයට 10කට මරණාසන්න අත්දැකීම් තිබුණා. තමන් තාවකාලික මරණයට පත් වූ පසු සිදු වූ සිද්ධි පිළිබඳ අත්දැකීම් ඔවුන් විස්තර කළා.

තමන්ගේ ශරීරයෙන් වෙන් වී ඉවතට පා වී ගිය අයුරුත්, ඉන් පසු ඇසීමට නැත් නම් දැකීමට හැකි වූ අයුරුත් ඔවුන් විස්තර කළා. මේ මතකයන් සිතේ මවාගත් මතකයන්ද නැත් නම් ඇත්තටම ඇත්ත මතකයන්දැයි මහාචාර්යවරයා විමසා බැලුවා. ඔවුන් විස්තර කළ දේවල්, සිදු වූයේයැයි කියූ දේවල් පරීක්‍ෂා කිරීමේදී ඇත්තටම සිදු වී ඇති බව මහාචාර්යතුමාට සනාථ වුණා.

මහාචාර්යවරයාගේ මෙම පර්යේෂණයේ සිත ඉතාම කුල්මත් කරන කොටස නම් මරණයට පත් වී, පසුව සිහිය ඇවිත් සිය මරණාසන්න අත්දැකීම් ප්‍රකාශ කළ මේ සියයට දහයේම මොළය මැරී තිබීමයි. මරණාසන්න වූවන්ගේ අත්දැකීම් පිළිබඳ මෙම පර්යේෂණයෙන් අනාවරණය වූ සුවිශේෂම කාරණය මේක තමයි. මොළයේ ක්‍රියාකාරීත්වය එහෙම පිටින්ම අක්‍රියව තිබියදී, සිහිය තමන් කරන කියන දේවල් ගැන දැන සිටීමයි, සක්‍රීයව තිබීමයි. මහාචාර්යවරයාගේ පර්යේෂණයේ මුල කොටසින් අනාවරණය වන වැදගත් නිගමනය මේකයි.
ගැඹුරු භාවනාවේදීත් සිදු වන්නේ මෙයම තමයි. මම මේ සම්බන්ධ සිද්ධියක් දැන් ඔබට කියන්නම්. මේ කියන්න යන්නේ මෙහි අපේ දායකයකු සම්බන්ධ සිද්ධියක්. අද සැඳෑවේ නම් ඔහු මෙහි ඇවිත් නැහැ. ඔහුගේ අවසර ඇතිව මම මේ විශිෂ්ට කතාව මගේ පොතකද පළ කළා.

ඔහු ඉතා ගැඹුරු භාවනාවන්හි නියැලෙන කෙනෙක්. දවසක් ගෙදර, කාමරයේදී ගැඹුරු භාවනාවකට සමවැදී සිටි ඔහු ගැන විපරම් කළ ඔහුගේ භාර්යාව තම සැමියා කිසිම සද්දයක් නොකර නිසොල්මන් වී සිටින හැටි දැක්කා. ඇඟපත අල්ලා සෙලවූවත් ඔහු අවදි වුණේ නැහැ. තම සැමියා මරණයට පත් වන්නට ඇතැයි සිතූ ඇය, ගිලන් රථයක් කැඳවා චාල්ස් ගාර්ඩිනර් රෝහලට ඔහු රැගෙන ගියා. රෝහලේදී ඊසීජී හා ඊඊජී පර්යේෂණවලින් ඔහුගේ හෘදය වස්තුවත්, මොළයත් සක්‍රීයව තිබෙනවාදැයි පිරික්සුවත් ඒවා අකර්මණ්‍ය වී තිබුණා. පරීක්ෂණයේදී හෘදයවස්තුව දිගු වේලාවක් තිස්සේ ස්පන්දනය නොවන බවත්, ඊඊජී පරීක්ෂණයේදී මොළය අක්‍රියව ඇති බවත් අනාවරණය වුණා.

ඉන් පසු විදුලි සැර වැද්දීම්, පපුව තෙරපීම් වැනි නොයෙකුත් හදිසි ප්‍රතිකාර කළත් ඔහු ජීවත් වන ලකුණක් දැකගන්නට ලැබුණේ නැහැ. මේ අතරවාරේ ඔහු, ඔහුගේ භාවනාව නිම කොට, පියවි සිහියට එළඹුණා. ඔහු භාවනාව නිම කළ සැණින් ඊසීජී යන්ත්‍රයත්, ඊඊජී යන්ත්‍රයත් ක්‍රියාකාරී වෙන්නට පටන් ගත්තා. ඔහු වටපිට බලන විට තමා රෝහලක සිටින්නේ මක් නිසාදයැයි විස්මයට පත් වුණා. වෛද්‍යවරුන් බොහෝම කඩිනම් පරීක්ෂණයක් කළත් ඔහු ගැන කියන්නට කිසිම වරදක් නැති බව හෙළි වුණා. ඉන් පසු ඔහු ආපසු ගෙදර ගියා. ඇත්තටම ඔහු රෝහලේ සිට ආපසු පයින්ම ගෙදර ගියා. පයින් යා හැකි තරමට ඔහු නීරෝගීව සිටියා.
විස්මයජනක කාරණය නම් මේ කියන මුළු කාලය තුළ ඔහු හොඳ සිහියෙන්, සෝදිසි ඥානයෙන් යුක්තව සිටීමයි. මා මේ කතාව කිව්වේ මේ කතාවට සම්බන්ධ තැනැත්තා මෙහි එන යන අයකු නිසාත්, ගැඹුරු භාවනාව තුළින් සිදු වන්නේ කුමක්දැයි හඳුනාගැනීමට මේ කතාව ප්‍රයෝජනවත් වන නිසාත්ය. මේ විදිහට මොළයේ ක්‍රියාකාරීත්වය නතර වූ විට සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳ මෙවැනි සාක්ෂි අප්‍රමාණව තිබෙනවා. මෙවැනි අවස්ථාවල තාවකාලිකව මරණයට පත් වීමක් සිදු වන නිසා අපි මෙවැනි අවස්ථා මරණාසන්න අත්දැකීම් ලබාදෙන අවස්ථාව ලෙස හඳුන්වනවා.

දීර්ඝ කාලීන ලෙස, සහමුලින්ම මරණයට පත් වීම අපි මරණය නමින් හඳුන්වනවා. මොළයේ ක්‍රියාකාරීත්වය නතර වුණාම සිදු වන්නේ කුමක්ද යන්න ඒත්තු ගැනීමට මේ මගින් යම් යම් සාක්ෂි අපට ලබාදෙනවා. මොළයේ ක්‍රියාකාරීත්වය නතර වීමෙන් සිදු වන තාවකාලික මරණය පිළිබඳ වැදගත්ම කාරණය නම් එය ඉතා ආනන්දජනක අත්දැකීමක් වීමයි; ප්‍රමෝදජනක අත්දැකීමක් වීමයි. මේ අත්දැකීම අත්විඳි සියල්ලන්ටම එය එසේමයි.

එය එසේ වන්නේ ඇයි? මේ වේදනාකාරි ශරීරයෙන් නිදහස ලැබීමට හැකි වීමයි. ගැඹුරු භාවනාවෙන් සිදු වන්නේ මෙයම තමයි. ඔබට මෙය මා මෙය කී සැරයක් කීවාදැයි මා දන්නේ නැහැ. එහෙත් මා මේ ගැන ඉතා අවංක විය යුතුයි. සමහර විට මෙය මා නොකිය යුතුයැයි ඔබ සිතන්නට පුළුවන්. ඒ කෙසේ වුවත් කිසිවක් සඟවන්නට අවශ්‍ය නැති නිසා මම මෙය කියනවා.


මා මේ ඔබට දැන් කියන්නට යන්නේ හාස්‍යජනක කතාවක්. මා මේ කතාවට කැමතියි. එක්තරා කාන්තාවකට සැත්කමක් කරමින් සිටින අතරවාරයේ තාවකාලික මරණයට පත් වුණා. ඇය ශරීරයෙන් වෙන් වී ගොස් ඉහළ සිට පහළ සිදු වන දේවල් දිහා බලා සිටියා. ඇය කියන විදිහට මෙසේ සිටියදී මොකක්දෝ භූත බලවේගයක් ඇයට මෙහෙම කිව්වාලු:

“මේක නොවෙයි ඔයාගේ වෙලාව. ඔයා ආපහු යන්න ඕන.”

“මට බැහැ!” ඇය කිව්වා. “මම ආපසු යන්නෙ ඇයි? මම හරි සතුටෙන් ඉන්නෙ. මට ආපසු යන්න බැහැ” ඇය උත්තර දුන්නා.

“ඔයා ආපසු යන්නම ඕන!” භූත බලවේගය බල කර කියා සිටියා.

“මට ඕවයින් වැඩක් නැහැ. මම ආපහු යන්නෙ නැහැ” ඇය කිව්වා.

මේ කාලයේ ජනයා නිදහසේ වැඩ කරන්න කැමැතියි. ඔබ ඔබේ දෙමාපියන්, ඔබේ ආණ්ඩුව හෝ ඒත් නැත් නම් දෙවියන් හරි වෙන කවුරු හරි කියන විදිහට ඔබ වැඩ කරන්න කැමැති නැහැ. ඇයත් නිදහසේ වැඩ කළ කෙනෙක්. ඒ නිසා ඇයට කවුරුවත් කියන විදිහට වැඩ කටයුතු කරන්න ඕන වුණේ නැහැ.

මම බොහෝම සතුටෙන් ඉන්නවා. මම නම් ආපහු යන්නෙ නැහැ” ඇය කිව්වා.

ඒක තමයි නිදහස. අපට ආයෙත් කොහොමටවත් ආපසු යන්න ඕනකමක් තිබුණේ නැහැ. මේ විදිහට භූත බලවේගයත්, මේ කාන්තාවත් තර්ක විතර්ක කරමින් සිටි අතරවාරේ අර භූත බලවේගය ඇය අල්වා ආපහු ඇගේ ශරීරය ඇතුළට විසි කළා. ඉන් පසු පෙර තිබුණු රුදාවල්, වේදනාවල්, පීඩාවන් ආපහු ඇයට දැනෙන්නට පටන් ගත්තා.

ඇය ඇත්තටම අර භූත බලවේගය ගැන කෝපයෙන් පසු වෙනවා. මේ සිදුවීම පිළිබඳ සම්මුඛ සාකච්ඡාවේදී ඇය මෙන්න මෙහෙම කව්වා:

“මම ඊළඟ සැරේ මැරුණාම, අර හාදයා කොහොම හරි සොයාගත්තොත්, මම එයාට හොඳ පාඩමක් උගන්වනවා! ඒ හාදයා මට කරපු වින්නැහිය බලන්නකො...”

මේ කතාව හාස්‍යජනක වුවත් එයින් ලබාගත හැකි පාඩම වැදගත්. කථාවෙන් කියවෙන දෙයත් බොහෝ අයට හරිම ප්‍රයෝජනවත් වෙනවා. මරණය කොයි තරම් ප්‍රසන්න අත්දැකීමක්ද කියන පාඩමයි.
මරණාසන්න අත්දැකීම් විඳ ආපසු ශරීරයට ආ සෑම දෙනෙක්ම පවසන එක දෙයක් තිබෙනවා:
“මම දැන් මැරෙන්න බය නැහැ!” ඔවුන් සෑමදෙනාම කියනවා. “ශරීරය අත්හැර යෑම හරිම ආස්වාදජනකයි; ඒ වගේම හරිම ප්‍රමෝදජනකයි. අප්‍රමාණ නිදහසක්, සමාජයක් භුක්ති විඳින්න ලැබෙනවා. ඒ කාලය හරිම ප්‍රසන්න කාලයක්” ඔවුන් කියනවා.

මෙය කවුරු වුණත් දැනගත්තාම ලොකු ප්‍රයෝජනයක් තිබෙනවා. මේ බව දැනගත්තාම ඔබේ මරණය ගැන ඔබ තුළ ඇති බිය නැති වෙනවා. ඔබ ආදරය කරන කෙනකු මරණයට පත් වුණාම හඬාවැලපී ශෝක වීමද ඔබෙන් ඉවත් වෙනවා.

කෙනෙක් මරණයට පත් වූ පසු ‘ඔහු දැන් යහතින් ඉන්නවා’ යැයි කියා ඔබට සතුටු වෙන්න පුළුවන්. මරණයට පත් වූවන්ගේ අත්දැකීම් අනුව ඔබට මේ පිළිබඳ සාක්ෂි තිබෙනවා. ඔවුන් මරණයෙන් පසු සතුටින් සිටින බව ඔබ දන්නවා. මේ බව දැනගැනීමෙන් පුද්ගලයන් පිළිබඳ විශාල වෙනස්කම් ඇති වෙනවා.
නමුත් සියලු දෙනා මරණයෙන් පසු සතුටින් සිටින්නේ නැහැ. ඒ ඇයි? කියා ඔබ දන්නවා. සතුටු වෙන්න බොහෝ කාරණා තිබුණත් ‘මම මේ සතුට ලබාගන්න සුදුසු නැතැයි’ සමහරු සිතනවා. මෙය ඔවුන්ගේ මරණයෙන් පසු ජීවිතයට බලපානවා.

ජීවත් වීමේදී දක්වන ප්‍රතික්‍රියාවන් මරණයෙන් පසු ජීවිතයට බලපානවා. මේ මොහොත ඔබ සතුටට පත් වී සිටින මොහොතක්, සතුටෙන් සිටින කාලයක්, සතුටෙන් සිටින සති අන්තයක් කියා සතුටු වෙන්න පුළුවන් වුණත්, ‘මම ඒ වගේ සතුටක් ලබන්න සුදුසු නැතැයි’ කොයිතරම් දෙනෙක් සිතනවාද? ඔබ ඔබේ සතුට විනාශ කරගන්නවා. එය එසේ වෙන්න බැහැ. මම මගේ සතුට විඳිනවා. තමන් වරදක් කර ඇතැයි සිතීම, අසුභවාදී වීම නැත් නම් නිෂේධාත්මක වීම, නිතරම වැරදි සෙවීම, මනුෂ්‍යයන්ගේ දුර්වල ගුණාංගයක්. මේ ජීවිතයේදී එම ගුණාංග වැඩිදියුණු කරගත්තාම ඒවා ඒ විදියට මරණයෙන් පසු ජීවිතයටත් ගමන් කරනවා. මේ ජීවිතයේදී හොඳින් කල්ගත කරන්න ලස්සන අවස්ථා තිබුණත් සමහරු ඒ අවස්ථාව මගහරිනවා; තල්ලු කරදමනවා. “එහෙම වෙන්නේ කොහොමද? මම සතුටින් ඉන්න සුදුසු නැහැ. මම නරක මිනිහෙක්. මම නරක වැඩ කර තිබෙනවා” කියා සිතීම, වැරදි අඩුපාඩු සෙවීම, නිෂේධාත්මක වීම නතර කරන්න. එවිට ඔබ නිදහස්. සිකුරාදා පවත්වන දේශනාවලදී වැරදි කර ඇතැයි යන හැඟීම ඉක්මවා සුබදායක ලෙස සිතීම ගැන අප බොහෝ දේවල් කියා තිබෙනවා.

ජීවිතය ගැන සුභවාදී වෙන්න. ඔබේ අතීතය පිළිබඳ වේදනාවන් අත්හැරදමන්න. අතීත ස්මරණවල රැඳී, අතීතයේ සිරකරුවකු නොවන්න. බිත්තියක් බැන්ද පසු එහි ගඩොළු නවසිය අනූඅටක් නිවැරැදිව තැබූ ඔබ වැරදියට තැබූ ගඩොළු දෙක ගැන සිතමින් ළතවන්න එපා. ඇත්තටම මෙලෙස කටයුතු කිරීමෙන් ඔබ සුබවාදී ආකල්පවලින් නොව අසුබවාදි ආකල්පවලින් යුක්ත වෙනවා. මම ජීවිතය පිළිබඳ සුභවාදි ආකල්ප කියන යෙදුමට කැමැති නැහැ. එය තරමක් පට්ට ගැසූ සංකල්පයක්. ඒ වෙනුවට හැම වේලාවෙම සාධාරණ වෙන්න; යුක්ති සහගත වෙන්න; හේතු සහගත වෙන්න. ඔබ ගැන සිතුවොත් ඔබ නරක පුද්ගලයෙක් නොවෙයි. මගේ මුළු ජීවිත කාලය තුරාවටම මට නරක පුද්ගලයෙක් හමු වෙලා නැහැ. මට මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන්, හිරකරුවන් හමු වී තිබෙනවා. ඒ කවුරු වුණත් ඔවුනුත් මිනිස්සු. නමුත් ඒ සෑම කෙනකුගේම යහපත් පැත්තක්, සුන්දරත්වයක් මා දැක තිබෙනවා. ඔවුනුත් මිනිස්සු. ඔවුන්ට වෛර කිරීමට, ඔවුන් විනාශ කිරීමට නුසුදුසුයි. කිසිම මිනිසකු විනාශ නොකළ යුතුයි. සෑම මිනිසකුගේම හොඳ පැත්තක්, සුන්දරත්වයක් තිබෙනවා. මෙය තේරුම් ගැනීමට වටිනා සුන්දර දෙයක්. ඔබ ගැනත් එසේ සිතන්න. ඔබ සතුටක් ලැබීමට සුදුස්සෙක්.
ජීවිතයේ අර්ථය කුමක්ද කියා ඇසුවොත් ඒ ප්‍රශ්නයට දිය හැකි උත්තරය නම් ඔබ සතුටු වීමට සුදුසුයි යන්නයි. එය තමයි ඔබේ ජීවිතයේ අර්ථය. එහි විශාල අර්ථයක් තිබෙනවා. ඔබට ඔබේ වේදනාවන් අත්හැරදමන්න පුළුවන්. ඒ වගේම සාමය සතුට පී‍්‍රතිය ළඟා කරගන්න පුළුවන්. ඔබ මරණයට පත් වීමෙන් පසු ඒ කරුණාවන්තකම ඔබත් දක්වන්න. භය බොහෝ දෙනකුගේ ජීවිතය වෙළාගෙන සිටිනවා. මා මේ දේශනය පවත්වන්නේ ඔබ වෙළා සිටින භය ඔබෙන් ඉවත් කරන්නයි.

බොහෝ පුද්ගලයන්ට මේ ලෝකය සමඟ තද බැඳීම් තිබෙනවා. තමන්ට අතහැරදමා යන්නට සිදු වන තැනැත්තන්, අත්හැරදමා යන්නට සිදු වන දේපළ හා වස්තු සම්භාරයට බැඳී සිටිනවා. ඔබට ඔබේ අතීතය අත්හැරදමන්න සිදු වනවායැයි බුද්ධාගම කියන්නේ මේ නිසයි. ඔබට මේවාත් උසුලාගෙන යන්න බැහැ. එය ඉතා පැහැදිලි කාරණයක්. ඔබ දන්නවා අත්හැර යෑමට ඔබ උගත යුතුයි; පුරුදු විය යුතුයි.

ඔබ ඔබේ ඇලීම් බැඳීම් අත්හැරයෑම නිසා ජීවිතයේ සතුට විඳින්න ලැබෙන්නෙ නැතැයි සිතන්න එපා. ඔබ, ඔබ සමඟ සිටින පුද්ගලයන් ගැන සතුටු වෙනවා. දවස නිම වූ පසු “අද කොයි තරම් විශිෂ්ට දවසක්ද?” කියා ගත වූ දවස ගැන සිතමින් ඔබට නිදාගන්න ඇඳට ගොඩ වෙන්න පුළුවන් වෙනවා. අත්හැරදමන්න. හෙට තවත් දවසක් උදා වෙනවා. මා මේ සඳහා භාවිතා කරන්නේ විශිෂ්ට සංගීත ප්‍රසංගයක් පිළිබඳ උපමාවයි. මේ ලස්සන උපමාව මට ලැබුණේ මගේ පියාගේ මරණයෙනුයි. මගේ පියා මා සමඟ අවුරුදු දාසයක් ජීවත් වූ බව මම දන්නවා. ඒත් ඔහුගේ මරණය නිසා මම ශෝකයට පත් වුණේ නැහැ. මම කිසිම පසුතැවිල්ලකට පත් වුණේ නැහැ. මා අවුරුදු දාසයක් පමණ ඔහු සමඟ සිටියා. චමත්කාරජනක අවුරුදු දාසයක මා මගේ පියා සමඟ ගත කළා. ඔහු සමඟ ජීවත් වීමට ලැබීම කොයිතරම් වාසනාවක්ද? මෙය අතිවිශිෂ්ට ප්‍රසංගයක්. සෑම ප්‍රසංගයකම අවසානයක් තිබෙනවා. ප්‍රසංග බලන්න ගිය ඇත්තන්ගෙන් කීදෙනෙක් ප්‍රසංගය නිම වුණාම ශෝකයෙන් හඬා වැලපෙනවාද? “අනේ! ප්‍රසංගය ඉවරයි. තවත් ඉතින් ඒ ප්‍රසංගය බටහිර ඕස්ට්‍රේලියාවට එන්නෙ නැනැ” කියා කී දෙනෙක් වැලපෙනවාද?

එක ප්‍රසංගයක් ගියත්, තව ප්‍රසංගයක් එනවා; ඊළඟ සතියේ එන්න ඉඩ තිබෙනවා. මේ විදිහට පුද්ගලයන්ද එනවා - යනවා. ජීවිතය පිළිබඳ යහපත්ම දෙය මේක තමයි. ජීවිතය කියන්නේ ප්‍රසංග මාලාවක්. සතුටින් සිටින මොහොතවල් තිබෙනවා. අප පී‍්‍රතියෙන් ඔදවැඩී සිටින මොහොතවල් තිබෙනවා. නමුත් මේවා අවසාන වෙන බවත් අප දන්නවා. ප්‍රසංගය අවසාන වුණා වගේ අපි සතුටින් සිටින මොහොතවල් අවසාන වුණාට අඬා වැලපෙන්නේ කුමකටද? එක ප්‍රසංගයක් ඉවර වුණාම ‘ඒක හරි විශිෂ්ටයි’ කියා සිතමින් අපි ඊළඟ ප්‍රසංගයට මාරු වෙනවා. එක දවසක් නිම වී අපි තවත් දවසකට මාරු වෙනවා. ඒ වගේම එක් ජීවිතයක් නිම වී අපි තවත් ජීවිතයකට මාරු වෙනවා. ඔබට ඔබේ ජීවිතය ගැනද මේ විදිහට සිතන්න හුරුපුරුදු වෙන්න පුළුවන්. භාවනාවේදී සිදුවන්නේ මේකයි. අපි අතීතය අත්හැරදමනවා; අතීතයෙන් නිදහස් වෙනවා; උදා වූ මොහොත ආස්වාදය කරනවා. සතුටින් පිරුණු, සාමයෙන් පිරුණු භාවනාවෙන්ද සිදු වන්නේ මේකයි. ඔබ මරණයට පත් වුණාම සිදු වන්නේ මෙන්න මේක තමයි.

අතීතය අත්හරින්න. අනාගතය ගැන බිය නොවන්න. මේ මොහොත කරුණාභරිතව, අනුකම්පාවෙන්, සිතේ සාමදානයෙන් ගත කරන්න.

මේ ගැන මා නිතර භාවිත කරන උපමා කතාවක් තිබෙනවා. ඒක තමයි ඔලොගු දෙකේ කතාව. ඔබේ අත් දෙකේ බර ඔලොගු දෙකක් ඇතැයි සිතන්න. වම් අතේ ඇත්තේ අතීතය පිළිබඳ බර පුරවාගත් ඔලොගුවයි. දකුණු අතේ ඇත්තේ අනාගතය පිළිබඳ බර පුරවාපු ඔලොගුවයි. මේවා උසුලාගෙන යන්න බැරි තරම් බරයි. ඔබ අතීතය පිළිබඳ ඔලොගුවත්, අනාගතය පිළිබඳ ඔලොගුවත් බිම තැබුවොත් ඔබේ බර සැහැල්ලු වෙනවා. ඔබ දැන් බිම තැබූ ඔලොගු දෙක අතර, ඔබේ අතීතය හා අනාගතය අතර මොහොතේ පසු වෙනවා.

ඔබ මරණයට පත් වීමේදී කළ යුත්තේ මේකයි. අත්හැරදමන්න ඔබේ අතීතය. ඔබේ පසුකාලීන ජීවිතය පිළිබඳ මුළු අතීතයම අත්හැරදමන්න. ඔබේ ජීවිතයේ බොහෝම ලස්සන, සතුටුදායක අත්දැකීම් ඇතුවා වගේම අප්‍රසන්න අත්දැකීම්ද තිබෙන්න ඇති. ප්‍රසන්න අත්දැකීම් හරියට නිවාඩු කාලය වගෙයි. ඔබේ දුෂ්කර අවස්ථා ඔබේ වැඩ රාජකාරි වගෙයි. ඔබ වැඩ කරන විට ඉන් ඉගෙනගන්නවා; ඉගෙනගනිමින් ඉදිරියට කරනවා. ප්‍රසන්න අත්දැකීම්වලින් ඉගෙනගන්න. අප්‍රසන්න අත්දැකීම් හරියට ඔබේ වැටුප් පත වගේ. ඔබට දැන් හොඳ නිවාඩුවක් ගත කරන්න පුළුවන්. එය ජීවිතේම කොටසක්. ඔබ මැරුණාම මේ සියල්ල අවසන් වෙනවා. ඔබට කිසිවක් ගෙන යා නොහැකියි. ඔබට කිසිවක් ගෙන යා නොහැකි බව කවුරුත් කියනවා. ඒත් ඔබ ඒවාත් රැගෙන යන්න හදනවා. මේක ගැටලුවක්. ඔබ අතීතය අත්හැරදමන්නට පුහුණු වුණාම ඔබට උදා වූ මේ මොහොත රස විඳින්න පුළුවන්.

බොහෝ දෙනෙක් ජීවිතය රසවිඳීම නවතා තිබීම හරි පුදුමාකාර දෙයක්. අතීතය ගැන සිතා වර්තමාන සතුටත් නැති කරගන්නවා. අතීතයේ ඔබ කළායැයි සිතන අතීතයේ ඔබ කළා කියන දේවල් ගැන සිතන්න එපා. ඒවා අතීතයයි. ඒ වගේ අතීත ස්මරණයන් ගැන සිතසිතා මේ මොහොතේ සතුට පාලන කරගන්නට හදන්නෙ ඇයි? බුදුදහමේ ඉතාම බලසම්පන්න ඉගැන්වීමක් නම් ඔබ ඔබේ අතීතය ඔසවාගෙන වර්තමානයට නොයා යුතුයි යන්නයි. ඔබට ඔබේ අතීතය අත්හැරදමන්න පුළුවන්. එසේ කිරීමට බාධාවක් නැහැ. එය කළ යුතුයි. එමගින් ලොකු සහනයක් ලබාගන්න පුළුවන් වෙනවා. ඔබට ලොකු නිදහසක් ලබාගන්න පුළුවන්. කිසිම වරදක් කර නැති, සහමුලින්ම පරිශුද්ධ කෙනෙක් නැහැ. ඔබ කළ වරද තවත් කෙනෙකු කර තිබෙන්න පුළුවන්. ඒ නිසා වරදක් කළාය කියන හැඟීම, අතීත ස්මරණ අත්හැරදමන්න..

ඇත්තද නැත්තද කියා මට හරියට කියන්න බැරි වුණත් මරණාසන්න වූවන් පිළිබඳ කතාන්දර අතරින් මගේ ජනපි‍්‍රයම කතාවක් මම දැන් ඔබට කියන්නම්. ලංඩන් නුවර විසූ ඉතාම ධනවත් කාන්තාවක් අසනීප වී, ඇයට සුළු ශල්‍යකර්මයක් කරන්න සිදු වුණා. ඇය ඉතා ධනවත් නිසා මේ සුළු සැත්කම කිරීමටත් සුප්‍රසිද්ධ ශල්‍ය වෛද්‍යවරුන් සිටින හාලි වීදියෙන් දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙකු කැඳවාගත්තා. මේ සඳහා අධික වියදමක් ගියත් සැත්කම සාර්ථක විදියට කරන්න ඇයට ඕනෑ වුණා. ඉතා දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් ඇගේ සැත්කම කළත් සැත්කම අතරමැදදී ඇය මිනිත්තු කිහිපයක් මරණයට පත් වුණා. බොහෝ වියහියදම් කර වෛද්‍යවරු කැඳෙව්වාම ඔවුන් සැම විටම විනීතව කටයුතු කරනවා ඇතැයි ඔබ බලාපොරොත්තු වෙනවා. ඒත් සැත්කම කරගෙන යද්දී වෛද්‍යවරයාගේ මේ විනීතකම අතුරුදන් වුණා. මේ කාන්තාව මරණයට පත් වෙමින් සිටියා. බොහෝ කලබලයට පත් වූ අර ශල්‍ය වෛද්‍යවරයා සැත්කම් කරගෙන යන අතරවාරේ මේ කාන්තාව සිහිනැතිව සිටින බව දැක මෙසේ කිව්වා: “බැල්ලි, මේ වේලාවේ මේ වැඩේ අත්හැරදමන්න එපා.” ඔහු කියූ වචන ටික ඒකයි.

ඔබ වෛද්‍යවරියක්, නැත්නම් හෙදියක් නම් මේක හොඳට මතක තියාගන්න. මේ ශල්‍ය වෛද්‍යවරයා, කාන්තාවගේ අසනීපයට ප්‍රතිකර්ම කොට ඇයට නැවත ජීවත් වීමට අවස්ථාව සැලසුවා. සැත්කමෙන් පසු මේ වෛද්‍යවරයා සුවපත් වූ කාන්තාව බැහැදකින්න ගිහින්, “නෝනා මහත්මයා, ඔබතුමියගේ ජීවිතය ඒ වෙලාවේ බොහෝ අන්තරාදායක තත්ත්වයකට පත් වුණා,” යැයි බොහෝම විනීත ලෙස කිව්වා. “ඔව්. මම ඒ වග දන්නවා” ඇය කිව්වා. “ඒත් ඔයා මට බැල්ලි කියල කිව්වෙ මොකද?” ඇය ඇසුවා. වෛද්‍යවරයාට මොනවා හිතෙන්න ඇතිද කියලා ඔබට හිතාගන්න පුළුවන්. ඇත්තම කිව්වොත් මේ කියන වේලාවේ මේ කාන්තාව තාවකාලික මරණයට පත් වෙලයි තිබුණේ. තමා මරණයට පත් වූවත් තමාට සිහිය තිබුණ බව මේ කාන්තාව පසුව කිව්වා. සමහර විට මේ වගේ අත්දැකීම් ඔබටත් ඇති.

රුසියානු නායකයින්ගේ "තට්ටය - කොණ්ඩය" න්‍යාය

වසර 200 කට ආසන්න කාලයක් තිස්සේ සිදු වෙමින් පවතින බැවින් රුසියාවේ ජනතාව අතර විහිළුවක් ලෙස මෙය සැලකේ. එමෙන්ම රුසියානු නායකයින්ගේ "තට්ටය ...