Monday, January 22, 2018

ගීසා පිරමීඩයේ අබිරහස් සැඟවුණු කුටිය.

ගීසාගේ මහා පිරමීඩය තුළ දීර්ඝ කාලයක් තිස්සේ සැඟවී තිබුණු හිස් කුටියක් සොයා ගැනීමට විද්‍යාඥයන් පිරිසකට හැකි වී ඇති අතර අවුරුදු 4,500ක් පැරැණි මෙම ස්මාරකය සමඟ බැඳුණු රහස්ද එයින් අනාවරණය වී තිබේ. පිරමීඩයේ අභ්‍යන්තරයෙහි රජුගේ කුටියත් රැජනගේ කුටියත් සම්බන්ධ වනසේ කෙමෙන් උස්ව නැඟෙන මංපෙතකට මඳක් ඉහළින් පිහිටි මෙම හිස් කුටිය දිගින් මීටර 30ක් (අඩි 100ක්) පමණ වේ. පිරමීඩයක් තුළ මෙවැනි හිස් කුටියක් වෙන්වී තිබෙන්නේ කුමන අරමුණක් ඇතිවද යන්න දැන ගත හැකි නොවන බවත් එම කුටියට කෙසේවත් පිවිසිය හැකි නොවන හෙයින් ඒ තුළ අගනා කලා නිර්මාණ කිසිවක් තිබේ දැයි දැන ගත හැකි නොවන බවත් විද්‍යාඥයෝ කියති.
පිරමීඩයේ සෙසු කොටස් ඉදි කෙරුණායින් පසු මහා වේදිකාව හා රජුගේ කුටිය ඉදි කිරීමෙහි යෙදුණු සේවකයනට එහි පිවිසීමට හැකි වනු පිණිස වෙන්වුණු කොටස මෙම හිස් කුටිය විය හැකි යැයිද මෙම පර්යේෂණයෙහි යෙදුණු විදවත්හු ප්‍රකාශ කරති. අභ්‍යවකාශයේ සිට පොළොවට විහිදුවන ලද අන්තරීක්ෂ අංශු උපයෝගි කරගත් භෞතික විද්‍යාඥයන් මෙම පර්යේෂණය පැවැත්වූයේ එක්ස් කිරණ මිනිස් සිරුර විනිවිද යන්නාක් මෙන් අන්තරීක්ෂ අංශුද ගල් කුට්ටි විනිවිද යන හෙයිනි. පුරාවිද්‍යාඥයන් ඉතිහාසඥයන් හා භෞතික විද්‍යාඥයන්ගේ හවුල් ප්‍රයත්නයක් වශයෙන් කරන ලද මෙම ගීසා පිරමීඩ පර්යේෂණය 19 වැනි සියවසෙන් පසුව දක්නට ලැබුණු විශිෂ්ට කාර්යයක් වශයෙන් බොහෝ විද්වතුන්ගේ ප්‍රශංසාවට භාජන විය.

වසර දහස් ගණනක් තිස්සේ ගීසාගේ මහ පිරමීඩය නොයෙක් ගුප්ත කරුණුවලින් වැසී තිබුණු නමුත් අංශු භෞතික විද්‍යාවට පින් සිදුවන්නට දැන් එම පිරමීඩයේ ව්‍යුහය පිළිබඳ රහස අනාවරණය වී තිබේ. පිරමීඩය තුළ තිබෙන හිස් කුටිය මෙතෙක් කිසිවකුගේ පියවි ඇසට ලක්වී නැති හෙයින් එය කුමක් සඳහා යොදා ගැනුණේද යන්න තවමත් අබිරහසක්ව පවතී. පිරමීඩයේ ඇතුළත ඉදි කිරීම් සඳහා අවශ්‍ය වූ විශාල ගල් කුට්ටි ගෙන ගොස් තැබීම සඳහා මෙම කුටිය වෙන් කැරෙන්නට ඇතැයිද පර්යේෂකයෝ අනුමාන කරති. හිස් කුටියට පහළින් තිබෙන වේදිකාවට බරක් එල්ල නොවනු පිණිස එම කොටස් හිස්ව තබන්නට ඇතැයිද සිතිය හැකි බවත් පර්යේෂකයෝ සඳහන් කරති.
නවතම අනාවරණය සම්බන්ධයෙන් "නේචර්" සඟරාවෙහි පළවුණු කරුණුවලින් මෙම පිරමීඩයේ නිර්මාණය වෙත එළියක් විහිදෙනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති. ගීසා පිරමීඩය ගැන තවදුරට කරුණු සෙවීම සඳහා 2015දී ප්‍රංශය හා ජපානය ඇතුළු රටවල් කීපයකින් ඊජිප්තුවට පැමිණි පර්යේෂකයෝ පිරිසක් පිරමීඩය ස්කෑන් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළහ. අන්තරීක්‍ෂ කිරණ ඒ සඳහා උපයෝගි කරගත් පර්යේෂකයෝ ගල් කුට්ටි විනිවිද යන "මුවොන්ස්" (ර්භධදඵ) නමැති අනුපරමාණුක අංශු මෙම කාර්යයේදී ක්‍රියාත්මක වන ආකාරය සටහන් කර ගත්හ.

"රැජනගේ කුටිය" යනුවෙන් හැඳින්වුණු කොටසද ඇතුළුව පිරමීඩය තුළ නිරීක්ෂණ උපකරණ සවි කෙරුණු අතර ඒවා උපයෝගි කොටගෙන පිරමීඩයේ. අභ්‍යන්තරය ඉතා හොඳින් නිරීක්ෂණය කිරීමට හැකි විය. ඒ සඳහා ඔවුනට කිසිදු ආකාරයක භෞතික බාධකයක් නොවූ හෙයින් පිරමීඩයේ අනෙක් කොටස්වලින් වෙන්ම පිහිටි හිස් කුටිය දැක ගැනීමට විද්‍යාඥයනට හැකි වූයේ එම සියුම් නිරීක්ෂණයේ ප්‍රතිඵලයක් වශයෙනි. මෙම හිස් කුටිය පළමුවෙන්ම දක්නට ලැබුණායින් පසු මාස කීපයක් තිස්සේ එකිනෙකට වෙනස් තාක්ෂණ විධි තුනක් මඟින් කරන ලද නිරීක්ෂණයෙන්ද මෙම කුටිය පිරමීඩය තුළ තිබෙන බව තහවුරු කිරීමට විද්‍යාඥයනට හැකි විය.

"මුවෝන්" (ර්භධද) නිරීක්ෂණෝපකරණ
අන්තරීක්ෂ කිරණ ඉහළ වායු ගෝලය සමඟ ප්‍රතික්‍රියා කරන විට නිර්මාණය වන අංශු වර්ෂාවේ ඇතැම් අංශු ක්‍ෂය වීමෙන් "මුවෝන්" නමැති ක්‍ෂුද්‍රාංශු සෑදෙයි. ජපානයේ ෆුකුෂිමාගේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයේ අභ්‍යන්තරය සිතියම් ගත කරනු පිණිස කලින් අවස්ථාවක "මුවෝන්" නිරීක්ෂණෝපකරණ උපයෝගි කරගෙන ඇත.
අනුපරමාණුක අංශු ස්වාභාවිකවම ඉහළ වායු ගෝලයෙන් ගලා හැලෙන හෙයින් එය කිසියම් කාර්යයක් සඳහා යොදා ගැනීමට උපකරණ අවශ්‍ය වන්නේ අල්ප වශයෙනි. ඉලෙක්ට්‍රෝනවලට වඩා දෙසිය ගුණයක් බරින් වැඩි මූලික අංශු (ඡ්තඥථඥදබචපර ර්ථීචපබඪජතඥඵ) පර්වත වැනි දැඩි ඝන ව්‍යුහ පවා විනිවිද යෑමේ ශක්තියක් තිබෙන හෙයින්, ව්‍යුහවල ඝනත්වය මැනීම සඳහා මේ ක්‍ෂුද්‍ර අංශු යොදා ගැනීමට පර්යේෂකයනට හැකි වන්නේ කෙනකුගේ අස්ථි පඤ්ජරය දර්ශනය වන පරිදි එක්ස් කිරණ සිරුර තුළට විනිවිද යන්නාක් මෙන් මෙම අංශුද සෑම ව්‍යුහයක්ම විනිවිද යන නිසාය. විශේෂ වේදිකාවට ඉහළින් පිහිටි බව පෙනෙන රහස් කොටසට ඇතුළු විය හැකි මඟක් නැති බවත් පිරමීඩය ඉදිවීමෙන් පසු කිසිවකු මෙතෙක් එහි පිවිසීමේ වෑයමක් දරා ඇති බවක්ද නොපෙනෙන බවත් මේ ගවේෂණය පිළිබඳ වාර්තාවක් සැකැසූ තියෝබි ප්‍රකාශ කරයි.

විද්‍යාඥයන් පිරමීඩය තුළට එබිකම් කළ ආකාරය
අධෝරක්ත තාපරේඛන විද්‍යාව - ද්‍රව්‍යයකින් නික්මෙන අධෝරක්ත ශක්තිය හඳුනා ගන්නා අධෝරක්තය එම ශක්තිය උෂ්ණත්වය බවට පරිවර්තනය කොට එහි උෂ්ණත්ව ව්‍යාප්තියේ ප්‍රතිබිම්බයක් ප්‍රදර්ශනය කරමින් සැඟැවී තිබෙන ද්‍රව්‍ය අනාවරණය කරයි.

ලේසර මඟින් සැකසෙන ත්‍රිමාණ ප්‍රතිබිම්බ - ලේසර නමැති ආලෝක කාරක උපක්‍රමය විසින් යම් ව්‍යුහයක පිට පැත්තෙහි පටු ආලෝක ධාරා ස්ලන්දනය කරවීමෙන් එම ව්‍යුහයේ සවිස්තර පිළිබිඹුවක් සකස් කරයි. එය සම්පූර්ණ වූ විට ඊට අදාළ දත්ත, සවිස්තරාත්මක ත්‍රිමාණ මොඩලයකට සම්බන්ධ කරයි.
අන්තරීක්ෂ කිරණ අනාවරක-අන්තරීක්ෂ කිරණ ඉහළ වායු ගෝලය සමඟ ගැටුණු විට නිර්මාණය වන මුවෝන් නමැති අනුපරමාණුක අංශු මෙම අනාවරක මඟින් අනාවරණය කරනු ලැබේ. මුවෝන් අංශුධාරාවලට මිනිස් සිරුරු හෝ ගොඩනැඟිලි හෝ හානියකින් තොරව විනිවිද යෑමේ ශක්තිය තිබේ. ගල් කුට්ටියක් හෝ එවැනිම දැඩි වෙනත් ව්‍යුහයක් හෝ විනිවිද යන මුවෝන් ධාරා කෙමෙන් ගමන් වේගය අඩුකොට අන්තිමේදී නතර වෙයි. එයින් අදහස් කරන්නේ මුවෝන් අංශු ධාරාවල ශක්තිය හා ගමන්මඟ වැළකෙන බවය. එවිට සැඟවුණු කුටි අනාවරණය වන අන්දමේ ත්‍රිමාණ ප්‍රතිබිම්බ සකසා ගැනීමට පර්යේෂකයන්ට හැකිවෙයි.

පිරමීඩ පරිලෝකන ව්‍යාපෘතිය
පර්යේෂකයන්ගේ මෙම අනාවරණය ගීසා පිරමීඩයේ ගුප්ත හිස් කුටිය හඳුනාගැනීම සඳහා ඔවුන් මාස ගණනක් තිස්සේ දැරූ ප්‍රයත්නයේ ප්‍රතිඵලයකි. පිරමීඩයේ අභ්‍යන්තර ව්‍යුහය අනාවරණය කරගැනීම සඳහා පර්යේෂකයෝ මෙම ගවේෂණයේදී මුවෝන් තාක්ෂණවේදය, තාප පරිලෝකන තාක්ෂණය හා ත්‍රිමාණ ලේසර තාක්ෂණයද උපයෝගි කර ගත්හ. ඒ වසර 2015දීය. මහා පිරමීඩය තුළ පහළට යොමු වුණු බරාදයක මෙන්ම උතුරු දෙසට මුහුණ ලා පිහිටි ‍ෙදාරටුවට ඇතුළතිනුත් සවිකරන ලද පරිලෝකන යන්ත්‍රවලට එම ‍ෙදාරටුවට ඉහළින් වූ යම් කුඩා ව්‍යුහයක් අසු විය. ඒ.
පිරමීඩයක අභ්‍යන්තර ව්‍යුහය මෙතෙක් තමන්ට හඳුනා ගන්නට හැකිවී තිබෙන ආකාරයෙන් මෙම ඡායාරූපයෙන් දැක්වෙන බවත් කුඩා කොටුවක් තුළ සුදු පැහැති තිත්වලින් දැක්වෙන්නේ රජුගේ කුටියට යාබදව අලුතෙන් තැනුණු කිසියම් ව්‍යුහයක් බවත් පර්යේෂකයෝ සඳහන් කරති.

ගීසා පිරමීඩය
ඊජිප්තුවේ පිරමීඩ සමඟ බැඳුණු රහස්, උස්ව නැඟුණු එම ශෛලමය නිර්මාණ තුළ වංකගිරි වැනි මංපෙත් ජල හා කුටි තුළ අවුරුදු 4500කටද වැඩි කාලයක් තිස්සේ සැඟවී තිබේ. එහෙත් ගීසා නමැති මහා පිරමීඩයේ සෙල්මුවා පවුරු අතර මෙතෙක් සොයා නොගැනුණු උමං මාර්ග ඇද්දෝ යන්න සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ පැවැති ගැටලුව දැන් නිරාකරණය වී තිබේ. ඒ සඳහා මුවෝන් නමින් හැඳින්වෙන අධෝරක්ත කිරණ අංශු යොදාගත් පර්යේෂකයෝ උසින් අඩි 479ක් වන ගීසා පිරමීඩයේ අභ්‍යන්තර ව්‍යුහය පරිලෝකනයට ලක්කොට, එම දිගුකාලීන ප්‍රශ්නයට පිළිතුරු සපයා ගත්හ. පැරැණිතම හා විශාලතම ගීසා පිරමීඩය පැරැණි ලෝකයේ "පුදුම හතෙන්" එකක් ලෙසද සැලකිණි.
පිරමීඩය පත්ලෙහි එකිනෙකට ආසන්නව පිහිටි විශාල ගල් කුට්ටි තුනක් පරිලෝකනයට ලක්වූ අතර ඒවායෙහි අනෙක් ගල්වල නැති තරමේ අධික උෂ්ණත්වයක් රැඳුණු බව අනාවරණය වූ හෙයින් රහස් කුට්ටියක් එම ගල් කුට්ටි තුනෙන් ආවරණය වී ඇතැයි යන න්‍යාය ඉස්මතු විය. එහෙයින් අදාළ විශේෂඥයෝ පිරිසක් "පිරමිඩ් පරිලෝකන ව්‍යාපෘතිය" ආරම්භ කොට යථෝක් පරිලෝකන ක්‍රියාවලිය පටන්ගත්හ. එකක් බරින් ටොන් 15ක් පමණ වූ ගල් කුට්ටි අනුපරාමාණුක මුවෝන් අංශු ධාරා උපයෝගි කොට පරිලෝකනයට භාජන කැරිණි.
මහා පිරමීඩයේ සාපලත් සුසානාගාරය ජනතාවට විවෘත වෙයි
ගීසා පිරමීඩය ඉදිකළ සේවකයන්ගේ මළ සිරුරු තැන්පත්ව තිබෙන "සාපලත්" සුසානාගාරය සංචාරකයන් සඳහා යළිත් විවෘත කිරීමට ඊජිප්තු පුරාවිද්‍යාඥයන් නොබෝදා තීරණය කළ බව වාර්තා විය. පිරමීඩය සොයාගැනීමෙන් පසු මෙයින් අවුරුදු 30කට පමණ කලින් මෙය පළමු වැනි වරට විවෘත කැරිණි. ගීසා පිරමීඩය අවුරුදු 4,500කට පමණ පෙර ඉදිවී තිබෙන්නේ ගෝත්‍රික ජන කොටසක් කඳුකරයකය. ඒ ප්‍රදේශය ඉන්ස්ටැග්‍රම් යනුවෙන් හැඳින්වෙයි. ඊජිප්තුවේ පුරාවස්තු භාර අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති කාර්යාලයද ඒ ප්‍රදේශයේ සිතියමක්ද සමඟ පිරමීඩය විවෘත කරන ආරංචිය මාධ්‍යට අනාවරණය කළේය.

පිරමීඩයේ අලුතෙන් විවෘත කෙරුණු කොටසේ තිබෙන සේවක සුසානයෙහි රජ මාලිගයේ අධීක්ෂකගේත් ඉදිකිරීම් කම්කරුවන්ගේ, වැඩ පරීක්ෂකගේ සහ කම්කරුවන්ගේත් සිරුරු මිහිදන්ව තිබේයැයි "නිව්ස්වීක්" වාර්තාවක සඳහන් විය. 1990 සිට මෙතෙක් පිරමීඩය වසා දමා තිබිණි. මෙය ඉදිකළ කම්කරුවන්ගේ වැඩ පරීක්ෂක වශයෙන් සේවය කළ පුද්ගලයා මෙම සුසානයෙහි තැන්පත්ව තිබෙන සිරුරු සොරුන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා සුසානය සාපගන්වා ඇතැයි ඊජිප්තු පුරාවස්තු භාර අමාත්‍යාංශයේ පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරති.

පිරමීඩයේ විශේෂ වේදිකාවට ඉහළින් අලුතෙන් ඉදිකරන ලදැයි සැලකෙන කොටස සෙවීමට විශේෂඥ කණ්ඩායම පෙලඹී ඇත්තේ අමාත්‍යාංශයේ පුරාවිද්‍යාඥයන්ගේ එම විශ්වාසය අනුවය. පුරාවෘත්තගත නෙෆෙටිටි රැජනගේ දේහය මිහිදන් කැරුණු තැන සෙවීම සඳහා සංකීර්ණ තාක්ෂණ උපක්‍රමයක් යොදා ගැනීමට පුරාවිද්‍යාඥයන් කිහිපදෙනකුගේ සිත් යොමුවී ඇත්තේද ඒ අනුවමය.

නෙෆෙටිටි යනු පුරාණ ඊජිප්තුවෙහි "ඒකදේවවාදී ලබ්ධිය" බිහිකළ අකෙතනන් රජුගේ බිසවයි. ඇගේ යැයි සැලකෙන සුප්‍රකට උඩුකය චිත්‍රයක් බර්ලින්හි නීයස් කෞතුකාරගාරයෙහි ප්‍රදර්ශනය වෙයි. නෙෆෙටිටි බිසවගේ දේහය ඊජිප්තුවේ දකුණු දිග "රජුන්ගේ නිම්නය" නමින් හැඳින්වෙන කොටසෙහි පිහිටි තුතන්කාමන්ගේ රහසිගත සුසානාගාරයෙහි සඟවනු ලැබ තිබේ යැයි බි්‍රතාන්‍ය ඊජිප්තුවේදඥයකු වන නිකොළොස් රිච්ස් විශ්වාස කරයි. වසර 2015දී පුරාවිද්‍යාඥයෝ පිරිසක් රේඩාර් මඟින් එම සුසානාගාරය පරිලෝකනය කළ නමුත් ඉන් පලක් නොලැබිණි. එහෙත් වෙනත් ඊජිප්තුවේදඥයෝ, රීවිස්ගේ සිද්ධාන්තය මෙන්ම නිශ්චිත නිගමනයෙන් තොර මතද යන සියල්ලම ප්‍රතික්ෂේප කරති.

බෝල්ටික් මුහුද කලඹන අද්භූත ‘ දිය සුළිය ’

 
ඒ, 2015 වසරේ අගෝස්තු මාසයයි. සැතපුම් 488 ක් ඉහළින් පෘථිවි කක්ෂයේ ගමන් කරමින් තිබුණු නිරීක්ෂණ චන්ද්‍රිකාවක් ගත් ඡායාරූපවල බිහිසුණු දිය සුළියක් වැනි යමක් දකින්න ලැබුණි. ඡායාරූප ගන්නා අවස්ථාවේදී චන්ද්‍රිකාව ගමන් කරමින් තිබුණේ බෝල්ටික් සාගරයට ඉහළිනි. එය වායු ගෝලයේ කැලැඹීමක් යැයි විද්‍යාඥයෝ මුලින් සිතූහ. කෙසේ නමුත් එය වායු ගෝලයේ කැලැඹීමක් නොවිණි. බැලූ බැල්මට එය දිය සුළියක් ද නොවිණි. ඊට හේතුව, එහි අසාමාන්‍ය වර්ණයයි. චන්ද්‍රිකාවට දකින්න ලැබුණු ‘සුළිය’ දීප්තිමත් ලූමිනස් කොළ පැහැයෙන් යුක්ත විය. ඡායාරූප අනුව නම් එය සාගරය කලඹවමින්, මීටර් දහස් ගණනක් පුරා එය විසිරී පැතිරී පවතී.
ඡායාරූප දකින්න ලැබීමෙන් භූ විද්‍යාඥයෝ ඒ ගැන මවිතය පළ කළහ. ඔවුන්ගේ උනන්දුව ඊට යොමු වූයේ අසාමාන්‍ය දීප්තිමත් කොළ වර්ණය නිසාය. ලොව ප‍්‍රධාන පෙළේ භූ විද්‍යාඥයෝ කිසිවකු මීට පෙර මෙවැනි දීප්තිමත් කොළ පැහැයෙන් යුක්ත අද්භූත සුළියක් දැක තිබුණේ නැත. ඒ අනුව, බෝල්ටික් සාගරය කලඹන මෙම ‘දිය සුළිය’ කුමක්දැයි සෙවීම ලහිලහියේ ආරම්භ විය.
චන්ද්‍රිකාව ඡායාරූපයට නැගූ දසුන් විශාලනය කර වැඩි දුරටත් පරීක්ෂාවට ලක් කෙරුණි. එහිදී විද්‍යාඥයන්ට තවත් පුදුමජනක දෙයක් දකින්න ලැබුණි. එනම්, කොළ පැහැති ‘දිය සුළිය’ සේ පෙනෙන මුහුදු කලාපයේ, නැවක් ගමන් කරන අයුරුය. ‘දිය සුළිය’ සැබැවින්ම ප‍්‍රචණ්ඩ දිය සුළියක් නම්, මේ නැවේ ඉරණම තීන්දුවී හමාරය. එය නිසැක වශයෙන්ම මුහුද විසින් ගිලගනු ඇත. එහෙත් එවැන්නක් සිදු නොවිණි. ඒ අනුව, දීප්තිමත් කොළ වර්ණයෙන් යුක්ත ‘සුළිය’ අබිරහසක් බවට පත් විය.

බෝල්ටික් මුහුද පිහිටා ඇත්තේ යුරෝපා මහද්වීපයේය. බෝල්ටික් රටවල් ලෙස සැලකෙන ස්කැන්ඩිනේවියා, ෆින්ලන්තය, ලැට්වියා, ලිතුවේනියා, එස්තෝනියා වැනි යුරෝපා රටවලට මැදිව බෝල්ටික් මුහුද පිහිටා ඇත. ඒ, වර්ග කිලෝ මීටර් 3,77,000 ක් පුරාය. බෝල්ටික් මුහුදේ උපරිම ගැඹුර අඩි 1,506 කි. දූපත් රැසක් ද පිහිටා ඇත. බෝල්ටික් මුහුද අබිරහස් පිරි ගුප්ත තැනක් පමණක් නොව, නැව් ගිලින තැනක් බවට ප‍්‍රකටය. මුහුදු පතුළේ ඇත්තේ නැව් සොහොනකි. දහස් ගණනක් නැව් බෝල්ටික් මුහුද විසින් ගිල ගෙන ඇතැයි පැවැසෙයි. සීතල මෙන්ම ප‍්‍රචණ්ඩ බෝල්ටික් මුහුදේ ගමන් කිරීමට ඉදිරිපත් වන්නේ නිර්භීත නාවිකයන් අතරින් අතලොස්සක් පමණි.

බෝල්ටික් මුහුදු පතුළේ ගිලුණු නැව් සහ එම නැව්වලින් රැගෙන යමින් තිබුණු බඩු භාණ්ඩ, පමණක් නොව, සැහැල්ලූ ගුවන් යානා පවා ඇත. ටයිටැනික් නැව මූදුබත් වීමේ මහා ඛේදවාචකයෙන් පසු, ඒ හා සමාන තවත් ඛේදචාචකයක් සිදුවිය. ඒ, ‘එම්.එස්. එස්තෝනියා’ නමැති මගී නෞකාව බෝල්ටික් මුහුදේ ගිලී යෑමේ සිද්ධියයි. එය ද ලොව කැළැඹූ නාවික අනතුරක් ලෙස සැලකෙයි. එම නැව් අනතුරින්, කුඩා දරුවන්, කාන්තාවන්, පිරිමින් ඇතුළු 900 ක පිරිසක් මුහුදේ ගිලී මරුමුවට පත් වූහ.

බෝල්ටික් මුහුදු කලාපයේ මෙතරම් නැව් අනතුරු සිදුවන්නේ ඇයිදැයි යන්න විද්‍යාඥයන්ට ගැටලුවකි. ඊට හේතුව මුහුදේ ප‍්‍රචණ්ඩ ස්වභාවයද? නැව් සහ නැව්වල ගමන් කරන පිරිස් ගිල ගන්නා බිහිසුණු දිය සුළියක් නිසාද? නිරීක්ෂණ චන්ද්‍රිකාව විසින් ඡායාරූප ගත කරනු ලැබුවේ එවැනි බිහිසුණු දිය සුළියක් ද? යන්න ප‍්‍රශ්නාර්ථයක් විය. මෙවැනි දිය සුළි අභ්‍යවකාශයේ ඇති කළු කුහර වැනි යැයි විද්‍යාඥයෝ පහදා දෙති. කළු කුහර කරන්නේ ද ඊට කිට්ටු වන සියල්ල උරා ගැනීමය.

චන්ද්‍රිකා ඡායාරූපයේ දකින්න ලැබෙන නැව සුළිය දෙසට ඇදී යමින් තිබෙන්නේ, දිය සුළියේ බලයට එය හසුවුණු නිසාදැයි යන්න සම්බන්ධයෙන් විද්‍යාඥයෝ කල්පනා කරන්න වූහ. කෙසේ නමුත්, දිය සුළියක්සේ දිස්වන එය මුහුදේ පුළුල් පරාසයක් පුරා පැතිරී පවතී. එහෙයින්, එය දිය සුළියක් විය නොහැකි යැයි පැවැසිණි. එපමණක් නොව, එය දිය සුළියක් නම්, එය දීප්තිමත් කොළ පැහැයෙන් යුක්ත වන්නේ ද නැත.

එය දිය සුළියක් නොවේ නම්, එය මුහුදට කාන්දුවුණු කිසියම් දෙයක් විය හැකි යැයි අදහසක් පළ විය. සාගරය දූෂණය වීමක් නිසා සිදුවූවක් යැයි සැක පහළ විය. බෝල්ටික් මුහුදු පතුළේ ඇති යම් ද්‍රව්‍යයක් මතුපිටට මතුවී ආවා යැයි අනුමාන කෙරුණි. ඒ අනුව බෝල්ටික් මුහුද හා සම්බන්ධ ඓතිහාසික තොරතුරු සොයා බැලීමට විද්‍යාඥයෝ කටයුතු කළහ.

බිහිසුණු අනාවරණයකින් විද්‍යාඥයන් කැළැඹුණේ එවිටය. එම අනාවරණය පසුපස දෙවැනි ලෝක මහා සංග‍්‍රාමය සහ නාසි හමුදාවේ සම්බන්ධයක් ද ඇත. නාසිවාදීහු යනු 1933 සිට 1945 තෙක් කාලයේ දරුණු ඒකාධිපති අදහස් දැරූ ජර්මන් සමාජවාදී පක්ෂයේ සාමාජිකයෝය. දෙවැනි ලෝක යුද සමයේ දී, නාසිවරු, ගෑස් කුටි භාවිතා කරමින්, ඔවුන් විසින් අල්ලා ගනු ලැබූ සිරකරුවන් ගෑස් කුටිවලට දමා මරා දැමූහ. මිලියන ගණනක් දෙනා එසේ මරා දැමූහ. සිර කඳවුරුවල සිටි සිරකරුවන් යොදා ගනිමින් නාසි විද්‍යාඥයෝ මාරක රසායනික අවි අත්හදා බැලූහ.

යුද්ධය අවසන් විය. ජර්මනිය පරාජය විය. මිත‍්‍ර හමුදාවට නාසිවරුන්ගේ නවීන රසායනික අවි තොග හමුවිය. රසායනික අවි (විස වායු සහ දියර ආදිය) විනාශ කිරීම වහාම කළ යුතු දෙයක් විය. මිත‍්‍ර හමුදා එක්වී, මාරක රසායනික අවි විනාශ කිරීමට තෝරා ගත්තේ අඳුරු බෝල්ටික් මුහුදු පතුළය. බ්‍රිතාන්‍යයත්, එවකට සෝවියට් සමූහාණ්ඩුවත් එක්වී, බැරල්වල දමා හොඳින් සීල් තබා, රසායනික අවි සියල්ල මුහුදු පතුළට දැමුණි. ඔවුන් එසේ මුහුදු පතුළට විසි කළ රසායනික අවි බැරල් තොගය ටොන් 65,000 ක් යැයි පැවැසෙයි.

එසේ නම්, ලස්සන දීප්තිමත් කොළ පැහැයෙන් දිස්වන ‘දිය සුළිය’ සැබැවින්ම දිය සුළියක් නොව, දෙවැනි ලෝක යුද්ධයේදී නාසි හමුදා භාවිතා කළ විස රසායන දියර කාන්දුවක්දැයි විය හැකිය. මිත‍්‍ර හමුදා විද්‍යාඥයන්, රසායනික අවි අඩංගු ලෝහ බැරල් මුහුදු පතුළට විසි කළේ ඒවා හොඳින් වසා සීල් තබමිනි. ඒත් දැන් එම බැරල් බෝල්ටික් කරදිය නිසා මේ වනවිට මළ බැඳීමට ලක්වී, විනාශ වෙමින් පවතී. විස රසායන ද්‍රව්‍ය බැරල්වලින් කාන්දුවීම වැළැක්විය නොහැකි දෙයක් බව පැහැදිලිය.

බෝල්ටික් මුහුදේ ගවේෂණයක් කළ කිමිදුම්කරුවන් කණ්ඩායමක් පැවැසුවේ ඔවුන්ට මුහුදු පතුළේ තිබී ‘මස්ටර්ඩ් ගෑස්’ විස රසායනයේ කොටස් හමුවුණු බවය. ‘මස්ටර්ඩ් ගෑස්’ යනු විස රසායන ද්‍රව්‍යයකි. මෙය සම මත දියපට්ටා ඇති කරන වාෂ්පශීලී විස දියරයකි. වර්තමානයේ ‘මස්ටර්ඩ් ගෑස්’ භාවිතය තහනම්ය.

මුහුදු පතුළෙන් ‘මස්ටර්ඩ් ගෑස්’ සංඝටක හමුවීමත් සමඟ නාසි හමුදාවේ විස රසායනික ද්‍රව්‍ය පිරවූ ලෝහ බැරල්වල කාන්දුවක් සිදුවන්නේදැයි සොයා බැලීමට විශේෂ මෙහෙයුමන් ඇරැඹිණි. ලොව ප‍්‍රධාන පෙළේ විද්‍යාඥ කණ්ඩායම් රැසක් ඊට සම්බන්ධ වූහ. මහා පරිමාණයෙන් විස මුහුදට කාන්දුවෙලාදැයි සොයා බැලීමට ඔවුහු පුළුල් ගවේෂණයක් සිදු කළහ. එසේ කාන්දුවක් සිදුවී ඇත්නම් එය මහා පරිමාණයේ පරිසර විනාශයක් එසේත් නැතිනම් සාගර විනාශයක් විය හැකි බවට බිය පළ විය.

චන්ද්‍රිකා ඡායාරූප කෙරෙහි සාගර ජීව විද්‍යාඥයන්ගේ අවධානය යොමු වූයේ මේ අවස්ථාවේදීය. දීප්තිමත් කොළ පැහැයෙන් යුක්ත ‘දිය සුළිය’ ගැන ඔවුන් හොඳින් සොයා බලන්න විය. කොළ පැහැති සුළිය දිය සුළියක් නොවන බවත්, එය නාසි රසායනික විස කාන්දුවක් නොවන බවත් ඔවුහු පෙන්වා දුන්හ. රසායනික විස කාන්දුවක් නොවුණත්, එය ඊට වඩා බිහිසුණු දෙයක් බව ඔවුහු අනතුරු අඟවන්න වූහ. මිනිසා විසින් නිර්මාණය කළ විස රසායනවලටත් වඩා බිහිසුණු එය ස්වභාවික දෙයකි.

දීප්තිමත් කොළ පැහැයෙන් දිස්වන්නේ මාරක ක්ෂුද්‍රජීවීන්ය. කොළ පැහැයෙන් දිස්වන්නේ බෝල්ටික් මුහුදේ පැතිර යමින් පවතින සාගර ඇල්ගී විශේෂයකි. එසේ නම්, එය ලොකු ගැටලූවකි. ඇල්ගී පැතිරයෑම විස රසායනික අවි සේම බිහිසුණු වන්නේ සාගරය ඒවායින් විනාශ වීමය. උඩු ගුවනට දිස්වුණු සුළිය නිර්මාණය වූයේ ක්ෂුද්‍රජීවීන් බිලියන ගණනක් එක්වීමෙනි. සුළිය වර්ග සැතපුම් 1,45,000 ක් පුරා පැතිර පවතී. දිය රැළි මගින් මෙම ඇල්ගී බෝල්ටික් මුහුදේ සිට ලොව පුරා සෙසු මුහුදු සහ සාගරවලට ව්‍යාප්ත වේවි. ඉදිරියේ දී දීප්තිමත් කොළ පැහැයෙන් යුත් ‘දිය සුළි’ මෙන් වැඩි වැඩියෙන් අපට දකින්න ලැබේවි යැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති.

අල්ගී ගමන් කරන සැම තැනම සිදුවන්නේ විනාශයයි. ඒවා ජලයේ ඇති ඔක්සිජන් උරා ගනී. එවිට ජලජ ශාක ජීවීන් ආදී සියල්ල මියයයි. සාගරය අමු සොහොනක් බවට පත් කරයි. ඇල්ගී පාලනය කිරීමට නොහැකිව අසීමිත ආකාරයට පැතිර ගියොත් සිදුවන සාගර විනාශය අතිමහත් බව සාගර ජීව විද්‍යාඥයෝ බිය පළ කරති. ‘බෝල්ටික් මුහුදේ දීප්තිමත් කොළ පැහැයෙන් යුත් සුළියේ අබිරහස විසඳූ සාගර ජීව විද්‍යාඥයෝ අවසන් වරට මෙසේ පැවැසූහ. ‘බැලූ බැල්මට ඒක හරිම ලස්සනයි. දීප්තිමත් කොළ පැහැය. නැහැ. ඒක ලස්සන නැහැ. ඒක තමයි මරණයේ පැහැය.

ශ්‍රීපාද අඩවියේ ගුප්ත ඇත් සොහොන

ශ්‍රී පාද අඩවිය ගුප්ත අබිරහස්වලින් සැඟවී ගිය ස්ථානයකි. එහි නිතිපතා අලුත් යමක් සිදුවෙයි. කලක් හැටන් ශ්‍රී පාද මහා විද්‍යාලයේද ඉන්පසු මස්කෙළ...