Wednesday, May 16, 2018

මහා පරිමාණයෙන් සිදුකල ළමා බිළි පූජාවක්

මහා පරිමාණයෙන් සිදුකල ළමා බිළි පූජාවක් පිළිබඳව දකුණු ඇමරිකාවේ පේරු රාජ්‍යයේ උතුරු වෙරළ තීරයෙන් සොයාගෙන ඇති අතර, බොහෝ දුරට එය ලෝක ඉතිහාසයේ විශාලතම ළමා බිළි පූජාව විය හැකි බව වාර්තා වෙයි.

මීට වසර 550 කට පමණ ඉහතදී, චිම්යූ (Chimú) අධිරාජ්‍යය පැතිර ගිය වකවානුවේ එහි අගනුවරට ආසන්නයේ, පැසිෆික් සාගරයට මුහුණලා පිහිටි කඳු බෑවුමක ඝාතනය කරන ලද පිරිමි ළමුන් 140 කට වඩා වැඩි සංඛ්‍යාවකගේ සහ ලාමා පැටවුන් 200 ක පමණ සිරුරු හමුවී තිබේ.

ඇස්ටෙක්, මායා සහ ඉන්කාවරුන් අතර මිනිස් බිළි පූජා කිරීමේ සිදුවීම්, යටත් විජිත සමයේ ස්පාඤ්ඤ ඉතිහාසයේ වාර්තා වී ඇති අතර, නූතන විද්‍යාත්මක කැණීම්වලින්ද සොයාගෙන ඇත. නමුත් මේසා විශාල පිරිමි ළමුන් සංඛ්‍යාවක් එකවර ඝාතනය කළ සිද්ධියක් මෙයට පෙර ලෝකයේ කිසිදු තැනකින් වාර්තා වී නැත.

පේරුහි උතුරුදිග Huanchaco දිස්ත්‍රික්කයේ, Huanchaquito-Las Llamas නැතහොත් කෙටියෙන් Las Llamas නමැති ප්‍රදේශයේ, මුහුදට අඩි 1000 ක් පමණ නුදුරින් පිහිටි ජනාකීර්ණ ප්‍රදේශයක මේ බිළි පුජාව පැවැත්වූ ස්ථානය පිහිටා තිබේ. යුනෙස්කෝ ලෝක උරුමයක් වන, පැරණි චිම්යූ පරිපාලන නගරය වූ Chan Chan මෙහි සිට සැතපුම් බාගයක් පමණ දුරින් පිහිටා තිබේ.

සිරුරු සමග තිබූ රැහැන් හා රෙදිපිළි රේඩියෝ කාබන් පරීක්ෂාවට ලක්කළ විට ඒවා වසර 1400 සිට 1450 දක්වා කාල පරිච්ඡේදයේ බව අනාවරණය වී තිබේ.

ළමුන් සහ සතුන් යන දෙකොටසේම පපු ඇටයේ තිරස් කැපුම් දක්නට ලැබෙන අතර ඉල ඇට බිඳී හා විසන්දි වී තිබේ. එයින් පැහැදිළි වන්නේ හෘදය ඉවත් කිරීමට පහසු වීම සඳහා පපු ඇටය කපා ඉල ඇට දෙපසට ඇද ඇති බවයි.

වැඩිහිටියන් තිදෙනෙකුගේ මළ සිරුරු, එනම් පිරිමියෙක් සහ ගැහැණුන් දෙදෙනෙකුගේ මළ සිරුරු ද මේ ආසන්නයේ තිබී සොයාගෙන ඇත. තිදෙනාගේම හිසට මොට උපකරණයකින් පහර දීම නිසා වූ බිඳීම් දක්නට ලැබේ. එම සිරුරු, බිළි පූජාවට ලක්වූ ළමුන්ගේ සිරුරු වලින් හාත්පසින් වෙනස් වෙයි. පර්යේෂකයන් අනුමාන කරන්නේ ඔවුන් බිලි පුජාව සම්බන්ධයෙන් යම්කිසි රාජකාරියක් ඉටු කරන්නට ඇති බවත්, ඉන් පසුව ඔවුන්වද මරා දමන්නට ඇති බවත්ය.

පිරිමි ළමුන් වයස අවුරුදු 5 සහ 14 අතර වයස් පරාසයේ වන අතර වැඩි දෙනා වයස අවුරුදු 8 ත් 12 ත් අතර වෙති. බොහෝ දෙනා මුහුද ඇති බටහිර දෙසට හිස සිටින පරිද්දෙන් වළලා තිබේ. ලාමා සතුන් වයස මාස 18 කට වඩා අඩු වෙන අතර ඇන්ඩීස් කඳු වැටිය ඇති නැගෙනහිර හිස සිටින පරිද්දෙන් වළලා තිබේ.

බිළි පුජා පිටියේ නැගෙනහිර දෙසට වන්නට ඇති, වර්ග අඩි 7,500 ක් පමණ වන ප්‍රදේශය පුරා ඇති වියළි මඩ තට්ටුවේ සාක්ෂි මත පදනම්ව, එක් අවස්තාවකදී ළමුන් සහ සතුන් ඝාතන සියල්ලම සිදුවී තිබේ. බිළි පුජාව පැවැත්වූ කාලයේ දැනට ඇති වැලි කන්ද මුළුමනින්ම මඩින් වැසී තිබෙන්නට ඇත.

පුරාවිද්‍යාඥයන් විසින් වියළි මඩ තට්ටුවෙන් පාවහන් පැළදි වැඩිහිටියන්ගේ, සුනඛයන්ගේ, පාවහන් නොපැළඳි දරුවන්ගේ සහ ලාමා පැටවුන් ගේ පාද සලකුණු සොයාගත් ලාමා පැටවුන්ගේ පාද සලකුණු ගැඹුරු ලිස්සා ගිය ආකාරයක් පෙන්නුම් කරයි. ඔවුන් ඔවුන්ගේ ඉරණම දක්වා බලහත්කාරයෙන් ඇදගෙන යන්නට ඇත.

පුරාවිද්‍යාඥයින්ගේ නිගමන නිවැරදි නම්, ලෝක ඉතිහාසයේ විශාලතම ළමා බිළි පූජාව වන්නේ Huanchaquito-Las Llamas හි සිදුකල බිළි පුජාවයි.

මේ වන තුරු, අපට භෞතික සාක්ෂි තිබූ විශාලතම සමූහ ළමා බිළි පූජා සිද්ධිය වුයේ, ඇස්ටෙක් වරුන්ගේ අගනගරය වූ Tenochtitlán (වර්තමානයේ මෙක්සිකෝ නගරය) හි Templo Mayor දේවස්ථානයේ දරුවන් 42 දෙනකුගේ චාරිත්‍රානුකූල බිලිදීමයි.

Las Llamas බිළි පුජාවේ දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයක් වන්නේ දරුවන් හා ලාමා යන දෙවර්ගයේම පපු ඇටයේ ඇති තිරස් කැපුම්, ස්ථාවර, කාර්යක්ෂම සහ නොසැළෙන දෑතකින් සිදුකර ඇති බවයි. පසුබට වීමක් රහිත කැපුම් වලින් පෙන්නුම් කෙරෙන්නේ, ඒවා ඒ සඳහාම හොඳින් පුහුණු කරන ලද අත් දෙකකින් හෝ කීපයකින් කර ඇති බවයි.

කෙසේ වෙතත්, Las Llamas හි සිදු වූ ළමුන්ගේ හා ලාමා පැටවුන්ගේ බිළි පුජාව, නව පුරාවිද්‍යාත්මක සොයාගැනීමක් වන අතරම එය කුමන අරමුණක් උදෙසා සිදුකර ඇද්ද යන ගැටලුව මතු කරයි







2 comments:

පේරු රටේ පැහෙන ජලය ඇති ගංගාව

සියවස් ගණනාවක් පුරා, දකුණු අමෙරිකාවේ වෙසෙන පේරු වැසියන් ඇමේසන් වනාන්තරයේ ඉතා උණුසුම් ජලය ඇති මාරක ගංගාවක් ගැන කථා කරති. පුරාවෘත්තයට අනුව...