Wednesday, May 16, 2018

දවාල රෑ වුණු එ දවස

1955 ජූනි 20දා ලංකාවටම අමතක නොවන දිනයකි. ඒ එදා දහවල රටම මහා රෑ ඝන අදුර මෙන් කරුවල වී ගිය හෙයිනි. එදා ජූනි 20 සඳුදා දිනයකි. සූර්යග්‍රහණය නිසා ලංකාවේ සියලුම පාසල්වලට රජය විසින් නිවාඩු දී තිබුණි. 20 වෙනිදා උදේ 8.11 ඇරඹෙන මේ අපූරු සිදුවීම දැකබලා ගැනීමට ලංකාවට විදෙස් රටවල ග්‍රහවිද්‍යාඥයන් කඳවුරු බැඳගෙන ඒ මොහොත එළැමෙනතුරු බලා සිටියේය.
පොලොන්නරුව, කදුරුවෙල, හිඟුරක්ගොඩ, සිගිරිය, ත්‍රිකුණාමලයෙහි මෙසේ විදේශිකයන් රැසක් කඳවුරු බැඳ බලා සිටියේය.
සූර්යග්‍රහණය බැලීමට වෛද්‍යවරුන් එදා අනුමත කළ කණ්ණාඩි විශාලවශයෙන් විකිණිනි. රට පුරා විහාරස්ථානවල ඒ මොහොතේ සෙත්පිරිත් සූදානම්කර තිබුණි. සමහරු මන්ත්‍ර ජපකරන ලදී. නමුත් එක් රටකට එය අධ්‍යයන කිරීමට එවකට සිටි මෙරට බලධාරින් මෙරටට ඒමට අවසර නොදුන් බව කියයි. ඒ සෝවියට් සමූහආණ්ඩුවයි. එවකට සිටි රජයෙන් සෝවියට් සමූහආණ්ඩුව ඉල්ලීම් කරත් ඔවුනට එයට අවස්ථාව නොදුන් බවට කියවේ.
එදා පැවති ඉරිදා ලංකාදීප පුවත්පත මගින් එවකට සිටි එක්තරා දේශීය වෛද්‍යවරයකු විසින් 1955 ජූනි 19 දින ඉරිදා ලංකාදීප මුල්පිටුවේ සුර්යග්‍රහණ වෙලාවේදී පානය කිරීමට අපූරු බෙහෙතක් සඳහන් කර තිබුණි. ඒ වදකහ යුෂයි. වදකහ සියුම්ව අඹරා ඒ සඳහා විවිධ අනුපාතවලින් පානය කළහොත් ශරීරයේ විවිධ ආබාධ දුරුවී සුවදායක තත්ත්වයක් මතුවන බව ඒ ඉරිදා ජාතික පුවත්පතේ මුල් පිටුවේ සඳහන් කර තිබුණි.
තැඹිලි වතුරින් බීවිට බුද්ධිය වර්ධනය වන බවත් කොත්තමල්ලි වතුරින් බී විට රූපශෝභාව වැඩිවන බවත් ආදී ලෙසින් මාත්‍රා පහකින් වදකහ බීමට නියම කර තිබුණි. වතුර බේසමකට නිල් දියකර සූර්යග්‍රහණය බැලීමට නියමකර තිබුණි. නැතහොත් කළු කණ්ණාඩියකින් හෝ කළු සෙලෝටේප් පටියකින් බැලීමට නියමකර තිබුණි. කෙලින්ම සූර්යග්‍රහණය පියවි ඇසින් බැලුවහොත් ඇස් අන්ධ වන බව එදා පුවත්පත්වල සඳහන්කර තිබුණි. හැම වෙද නිවසකම වදකහ බෙහෙත නියමිත මාත්‍රාවලින් සකස්කර ජනයාට ලබාදුනි. විවිධ පුද්ගලයන් බෙහෙත් බඩු කඩෙන් ගත් වදකහ තමන්ට සිතගි මාත්‍රාවලින් සාදාගත්තේය.
සූර්යග්‍රහණය වෙලාවේ වදකහ විවිධ මාත්‍රාවලින් බීමෙන් රූප‍ශෝභාව වැඩිවීමට, බුද්ධිය වර්ධනයට, කාලාන්තරයක් තිස්සේ පැවැති ලෙඩ රෝග සුවවීමට හා කටපාඩම් හිටීමට ඉතා සුදුසු ඖෂධයක් බව පුවතේ පළවී තිබුණි.
නියමිත ජූනි 20 උදෑසන එළැබිණි. සූර්යග්‍රහණය එම සඳුද උදේ 8.11 සිට 8.15 ඇරැඹිණි. රටම අඳුරේ ගිලී ගියේය. කපුටන් ඇතුළු කුරුළු රෑන් කෑගසමින් සිය කූඩු කරා නැවත පියඹායන්නට විය. උදේ දිගෙලිකර වතුවල තණ කමින් සිටි හරකුන් රාත්‍රී ඇතිවී ඇතැයි ගාලට නොදැමීම නිසා බියවී කෑගසන්ටවිය. රාත්‍රී පිපෙන මල් පිපෙන්නට විය.නැවත එළිය වැටීමත් සමග ඈත මෑත පියාඹමින් වල්මත් වී සිටි පක්ෂීන් කීචි බීචි හඬ නඟමින් මහත් ප්‍රීතියෙන් නැවතත් පුරුදු ජීවන රටාවේ නියැළුණු අයුරු එකළ පුවත්පත් මගින් කියවුණි. පක්ෂීන් පමණක් නොව දෙහිවල සත්වෝද්‍යානයේ සිටි අලි ඇතුන්, ව්‍යාඝ්‍රයන් ඇතුළු සතුන් අමුතු ආකාරයකින් හඩනැඟීමට පටන් ගත් බවද කියවේ.
බොහෝ පිරිස් විවිධ මාත්‍රාවලින් සෑදූ වදකහ බොන්නට ගත්හ. සමහරු විශාල ප්‍රමාණයෙන් වැරදි මාත්‍රාවෙන් බොන්න විය.
වද කහ බිව් බොහෝ දෙනාට වමනය හා බඩඑළිය යෑම ආදී රෝග මතුවිය. රටපුරා එකවර වැඩිම පිරිසක් රෝහල්වලට ඇතුළුවූ ඉතිහාසයේ පළමු දවස මෙය විය. රූපශෝභාව වැඩිවීමටත් බුද්ධිය වැඩිවීමටත් මෙසේ බොහෝ පිරිස් නියමිත මාත්‍රාව ඉක්මවා වදකහ බී තිබුණි.
සූර්යග්‍රහණය බැලීමට ගොස් දෙදෙනකු මැරී වැටුණි. දෙදෙනකුගේ ඇස් අන්ධවිය.
පසුදින ලංකාදීප පුවත්පතේ වමනයට බෙහෙත් සඳහන් කර තිබුණි.
රටේම අය වදකහ බී ලෙඩවීම නිසා ලංකාදීප පුවත්පතේ වදකහ බෙහෙතට එරෙහිව දිනමිණ ‘වදකහ’ නමින් තීරු ලිපියක් ද පටන්ගෙන තිබුණි. ඉන්පසු එය ටික කලකින් නැවතුණි.ලංකාවට දර්ශනය වූ එම සූර්යග්‍රහණය පූර්ණ සූර්යග්‍රහණයක් ලෙස සටහන් වී ඇති අතර ලංකාව හැරුණු විට එය දර්ශනය වී ඇත්තේ සියමය, වියට්නාමය, පිලිපීනය යන රටවලට පමණි. විනාඩි 7 යි තත්පර 8 ක් පුරා සිදුවූ මේ සූර්යග්‍රහණය විශාලතම සූර්යග්‍රහණයක් ලෙස හැඳින්වේ.මෙකළ සිටි ජනප්‍රිය බයිලා ගායක වොලී බැස්ටියන් විසින් නිර්මාණය කොට ගායනා කරන්නට යෙදුණු බයිලා ගීතය නිසා යි ලංකාදීප පුවත්පතේ ඉල්ලුමත් අඩු වුණු බවක්ද පැරුන්නන් කියති . අද එම බිව්වා නේද වදකහ සුදිය බයිලාව සෑම සාජ්ජයකදී ඇසෙන බයිලාවක් බවට පත්ව ඇත.

බිව්වා නේද වදකහ සුදිය

ජහ ජහ ජහ ජහ

බිව්වා නේද වදකහ සුදිය..”

දවාල රෑවුණු එ දවසේ

එමලි ගියා පිළි කන්නට විගසේ

බිව්වා නේද වදකහ සුදිය..



No comments:

Post a Comment

පේරු රටේ පැහෙන ජලය ඇති ගංගාව

සියවස් ගණනාවක් පුරා, දකුණු අමෙරිකාවේ වෙසෙන පේරු වැසියන් ඇමේසන් වනාන්තරයේ ඉතා උණුසුම් ජලය ඇති මාරක ගංගාවක් ගැන කථා කරති. පුරාවෘත්තයට අනුව...