Wednesday, May 16, 2018

මරාගෙන මැරෙන කුහුඹුවන්

විද්‍යාඥයන්ට මෑතකදී බෝනියෝ වනාන්තරවල වාසය කරන නව කුහුඹු විශේෂයක් හමුවී ඇත. ඔවුන්ගේ විද්‍යාත්මක නාමය Colobopsis explodens වන අතර, නමින් හැඳින්වෙන පරිදිම ඔවුහු පුපුරා යති.

ආහාර සොයා යන කුහුඹුවන්, කුහුඹු ජනපදයෙන් උදෑසන 6 ට පමණ පිටවන අතර ආපසු පැමිණෙන්නේ සවස 6 ට පමණ වෙයි. ඒ අතරතුර කාලයේදී කුහුඹුවන්ගෙන් කොටසක් කුහුඹු ජනපදයේ දොරටුව ආරක්ෂා කරති. එමෙන්ම, දවසේ වැඩ නිමාවී ජනපදයට නැවත ඇතුළුවන කූඹියන් එකින් එකා හොඳින් පරීක්ෂා කර බලති. ඕනෑම මොහොතක යම් ආගන්තුකයෙක් ජනපදය ආක්‍රමණය කරන්නට උත්සාහ ගන්නේ නම්, ඕනෑම කුහුඹුවෙකුට "මරාගෙන මැරීමේ" හැකියාව ඇත.


Colobopsis explodens කෘමි විශේෂයේ උදරය ග්‍රන්ථීමය කෝෂ වලින් පිරී තිබෙන අතර, අනතුරුදායක අවස්ථාවකදී සිය උදරය වේගයෙන් ඉහළට එසවීම මගින් එය පුපුරවා ගනියි. ග්‍රන්ථීමය කෝෂ වල පිරී තිබෙන ඇලෙනසුළු විෂ ස‍්‍රාවයක් ස්පර්ශයෙන් සතුරා අකර්මණ්‍ය වන අතර අවසානයේ මියයයි. විද්‍යාඥයන් පවසන පරිදි, මෙම ස‍්‍රාවය තරමක් දුරට කුළුබඩු වල අඩංගු සුවඳක් වැනි වෙයි.

වෙනත් ඕනෑම කුහුඹු ජනපදයක මෙන්ම මොවුන්ගේද විවිධ කාර්‍යයන් ඉටුකරන කුහුඹු කොට්ටාශ වෙයි. උදරය පුපුරවාගන්නා කොට්ටාශය හැරුණු විට, වෙනත් ආරක්‍ෂිත උපක්‍රමයක් යොදාගන්නා විශාල හිසක් සහිත සොල්දාදුවන් කොට්ටාශයක්ද වෙයි. පුපුරුවා ගැනීම වෙනුවට, තම හිස දොරක් ලෙස යොදා ගනිති. එනම්, සතුරු ආක්‍රමණයකදී, තම ජනපදයට ඇතුළුවන සිදුර හිස මගින් අවහිර කරති.

Colobopsis exploden කුහුඹුවන් බහුතරයක් ගැහැණු සතුන් වන අතර, අත්තටු ඇති පිරිමි කුහුඹුවන්, සිටිනුයේ ඉතාමත් සුළු සංඛ්‍යාවකි.

No comments:

Post a Comment

පේරු රටේ පැහෙන ජලය ඇති ගංගාව

සියවස් ගණනාවක් පුරා, දකුණු අමෙරිකාවේ වෙසෙන පේරු වැසියන් ඇමේසන් වනාන්තරයේ ඉතා උණුසුම් ජලය ඇති මාරක ගංගාවක් ගැන කථා කරති. පුරාවෘත්තයට අනුව...