Monday, May 14, 2018

ගිය කෙනෙක් ආයෙත් නොඑන බුරුතු පිටින් අතුරුදන් වෙන හොයියා බාචු.

වයඹදිග රුමේනියාවේ, (එරට වැසියන් ශබ්ද කරන ආකාරයට රොමා නියා) ක්ලුෂ් - නපෝකා නගරයේ හෙක්ටයාර් 250ක පමණ ප්‍රදේශයක් පුරා පැතිර පවතින හොයියා බාචු (Hoia baciu) වනාන්තාරය සැලකෙන්නේ ලොව වඩාත්ම භූතාවිශ්ට වනාන්තරය ලෙසයි. එනිසාම රුමේනියානු වැසියන් එය හඳුන්වන්නේ 'ගොඩබිම බර්මියුඩා ත්‍රිකෝණය" නමින්ය. මෙම වනය තුළ අවතාර ගැවසෙනු බොහෝ දෙනා දැක ඇති අතර තේරුම් කළ නොහැකි සිදුවීම්, ඡායාරූපවල අද්භූත මුහුණු සටහන් වීම් ආදිය පිළිබඳ ඊට මුහුණ දුන් බොහෝ දෙනා අනාවරණය කොට තිබෙනවා. ඒ විතරක් නොවෙයි, 1970 ගණන්වල මේ තුළ අද්භූත යානයක් දුටු කීප දෙනකුම ඒ පිළිබඳව වාර්තාකොට තිබුණා.

මෙම වනයට ඇතුළු වන පුද්ගලයන් පවසන්නේ තමන් දෙස කවුරුන් හෝ බලා සිටින බවක් තමන්ට දැනෙන බවයි. ඒ වගේම මෙම වනාන්තරය තුළ පිහිටි අමුතුම ආකාරයේ තුරුලතා ආදියත් ඒ අද්භූත බව තවත් තීව්‍ර කරනවා.

හොයියා බාචු අද්භූත වනාන්තරයක් ලෙස මුලින්ම හැඳින්වීමට පෙලඹී ඇත්තේ 200ක ගව පට්ටියක්ද දක්කාගෙන මේ වනයට ඇතුළු වූ එ‍ෙඩ්රෙක් අතුරුදන් වීමද සමඟයි. මේ වනාන්තරය අවට වෙසෙන කිසිවකු එම සිද්ධියෙන් අනතුරුව වනයට ඇතුළු වීමට උත්සාහ කරන්නේ නැහැ. ඊට ඇතුළු වුණොත් නැවත පැමිණීමට නොලැබෙන බව ඔවුන් තදින්ම විශ්වාස කරනවා. නමුත් ඒ අතර වනාන්තරයට ඇතුළු වීමට තරම් දිරියක් ඇති පුද්ගලයන් නැවත ඉන් පිටතට පැමිණි විට සමේ දද ඇතිවීම්, ඔක්කාරය, වමනය, හිසරදය, පිලිස්සීම්, සීරීම් ආදී අද්භූත සිදුවීම් ගැන වාර්තා කොට තිබෙනවා.

හොයියා - බාචු වනාන්තරය පිළිබඳ අවධානය යොමුවන්නට පටන් ගෙන ඇත්තේ එහි ඇතුළු වූ ඇලෙක්සැන්ඩර් සිෆ්ට් නම් ජීව විද්‍යාඥයකු වනයට ඉහළ අහසේ ගමන් කරමින් තිබූ පියාඹන පීරිසි ආකාරයේ වස්තූන් කීපයක් ඡායාරූපගත කිරීමද සමඟයි. ඉන් අනතුරුව 1968 යුද හමුදා කාර්මිකයකු වු එමිල් බර්නියා විසින්ද මෙම වනාන්තරයට ඉහළ අහසේ ගමන් කළ පියාඹන පීරිසියක දර්ශනයක් ඡායාරූපගත කිරීමට සමත්ව තිබෙනවා.

මෙම වනය තුළට රැගෙන යන ඉලෙක්ට්‍රොනික් උපකරණ පවා ක්‍රියා විරහිත වන බවද සඳහන් වෙනවා. මෙවැනි අද්භූත සිදුවීම් පිළිබඳ විමර්ශනයන් කරන පුද්ගලයන් පවසන අන්දමටද එය භූතාත්ම විසින් සිදුකරන බලපෑම් නිසා සිදුවන්නක්. වනාන්තරය අවට ජීවත්වන පුද්ගලයන් එතුළින් රාත්‍රි කාලයේදී වැලපෙන කාන්තාවන්ගේ හඬවල්ද ඇසෙන බව සඳහන් කරනවා.

සමහරු විශ්වාස කරන්නේ මෙය තවත් නොපෙනෙන මානයකට ඇතුළුවීම සඳහා වන ද්වාරයක් බවයි. මෙතුළින් නිතර නිතර අද්භූත එළි විහිදෙන අයුරු අවට වැසියන් දැක ඇති අතර සමහරු මෙතුළ අතරමං වී නැවත පැය කිහිපයකට පසු පිටතට පැමිණි විට ඊට පෙර සිදුවූ කිසිවක් තමන්ට මතක නැති බව සඳහන් කළ අවස්ථාද නැත්තේ නැහැ.

මෑතකදී මෙම වනාන්තරය තුළ සිදුවීම් වාර්තා කිරීම සඳහා ගිය රූපවාහිනි නාළිකාවක විමර්ශකයකු නොපෙනෙන බලවේගයක් විසින් සූරා බිමට තල්ලුකොට ඇති බවද වාර්තා වූණා. ඊට පෙර තමන් අඳුරු කැලෑව තුළින් දිලිසෙන ඇස් වැනි ආලෝකයක් දුටු බවද ඔහු පවසා තිබුණා.

ගන වන ගහනයකින් යුත් මෙහි මධ්‍යයේ හරි කවාකාර පෙදෙසක් කුඩා පැළෑටියක් හෝ නොවැවී තිබීමත් මිනිසුන්ගේ කුතුහලය වැඩි කිරීමට තවත් හේතුවක් වී තිබෙනවා. එසේ සිදුව ඇත්තේ කෙසේදැයි කීමට විද්‍යාඥයන් පවා සමත් වී නැහැ. මෙහි පස් නියැදි පවා පරීක්ෂාවට ලක්කොට ඇති අතර ඒ පස්වලද කිසිදු වරදක් නැති බව ඔවුන් සඳහන් කොට තිබුණා. ඒ අවට වැසියන් විශ්වාස කරන්නේ එම කවය වනයේ සිදුවන අද්භූත සිදුවීම්වල කේන්ද්‍රස්ථානය බවයි.

කෙසේ වුවත් මෙතෙක් හොයියා බාචු වනය වෙත ඇතුළුවී කිසිදු බලපෑමක් නොමැතිව පිටතට පැමිණි පුද්ගලයකු පිළිබඳ සඳහන් වී නැහැ. අදටත් ඒ පිළිබඳව විවිධ රටවලින් පැමිණ පර්යේෂණ සිදු කරමින් සිටිනවා.




1 comment:

  1. //මෙහි පස් නියැදි පවා පරීක්ෂාවට ලක්කොට ඇති අතර ඒ පස්වලද කිසිදු වරදක් නැති බව ඔවුන් සඳහන් කොට තිබුණා.//
    //කෙසේ වුවත් මෙතෙක් හොයියා බාචු වනය වෙත ඇතුළුවී කිසිදු බලපෑමක් නොමැතිව පිටතට පැමිණි පුද්ගලයකු පිළිබඳ සඳහන් වී නැහැ.//
    ??????????
    පස් ගන්න ගිය අයට මොනවත් වුනේ නෑ නේද?

    ReplyDelete

පේරු රටේ පැහෙන ජලය ඇති ගංගාව

සියවස් ගණනාවක් පුරා, දකුණු අමෙරිකාවේ වෙසෙන පේරු වැසියන් ඇමේසන් වනාන්තරයේ ඉතා උණුසුම් ජලය ඇති මාරක ගංගාවක් ගැන කථා කරති. පුරාවෘත්තයට අනුව...