Tuesday, July 10, 2018

උතුරු කොරියානු නායකයාගේ දුවන ආරක්ෂක භටයෝ

ලිබියාවේ හිටපු ආඥාපති ජනාධිපති මුවම්මර් ගඩාෆි ඔහුගේ අපූරු කල්කිරියාවන් නිසා ලොව පුරා පතළ වූවෙකි. එකල ඔහු යන යන තැන පිරිවරා සිටියේ සුරූපී ආරක්ෂක සෙබළියන්ය. ගිනි අවි අත දරා ගඩාෆි වෙනුවෙන් මැරෙන්නට වුව පෙරට ආ එම සෙබළියන් බටහිර මාධ්‍ය විසින් හඳුන්වනු ලැබුවේ ගඩාෆිගේ ‘ඇමේසන් බළකාය’ ලෙසිනි. ලිබියානු නායකයා යනඑන සැම තැන එම සුරූපී ආරක්ෂක සෙබළියෝ පහළොස් දෙනෙක් කැටුව යනු ලැබූහ. ගඩාෆිගේ ආරක්ෂක බළකායට එක්වීමට ඔවුන් ලද මූලිකම සුදුසුකමක් වූයේ අනිවාර්යයෙන්ම කන්‍යාවන් වීමය. එම කාන්තා බළකායේ සෙබළියක් වරක් සිය නායකයාට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් ඔහු බේරා ගැනීම සඳහා සිය සිරුරින් ඔහු මුවා කර ගනිමින් ප්‍රහාරයට මුහුණ දී තුවාල ලැබ ලොව පුරා අවධානයට ලක් වූවාය.
ගඩාෆිගෙන් පසු මෙවර ලෝකය පුරා අවධානයට ලක්ව ඇත්තේ උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් ගේ අපූරු පුද්ගල ආරක්ෂක බළකායයි. ඇමෙරිකානු ජනාධිපතිවරයා සමඟ ඓතිහාසික ගිවිසුම අස්සන් කිරීම සඳහා සිංගප්පූරුවට පැමිණි කිම් සෑම තැනම ආවේ ගියේ මේ අපූරු ආරක්ෂකයන් පිරිවරා ගෙනය. කිම් සිය සුඛෝපභෝගී ලිමොසින් බෙන්ස් වර්ගයේ මෝටර් රථයෙන් යද්දී ආරක්ෂක භටයෝ ‘යූ’හැඩයේ ආරක්ෂක වළල්ලක් සෑදී රියේ ගමන සමඟ දිව යෑම පසුගිය දිනවල සිංගප්පූරු ජනතාවගේ නෙතට අපූරු දසුනක් වූවාක් මෙන්ම මාධ්‍යට කතාබහට මාතෘකාවක් එක් කළේය. ඒ ආරක්ෂක භටයන් ගැන තොරතුරු හෙළි කළ බටහිර මාධ්‍ය ඔවුන් හැඳින්වූයේ කිම් ගේ jogging guardiance ලෙසිනි. මේ දුවන ආරක්ෂකයන් ගැන ලෝක මාධ්‍යය පළමුවෙන්ම අවධානය යොමු කළේ පසුගිය අප්‍රේල් මාසයේ පැවැති කොරියානු නායකයන් දෙපළගේ පළමු මුණ ගැසීමේ අවස්ථාවේදීය. එම හමුවෙන් පසු අන්තර්ජාලයට එක්වූ වීඩියෝ පටයකින් මේ දුවන ආරක්ෂකයන් පළමු වරට ලොවට හෙළිවිය. මෙවර ඔහු වටා දුවයන ආරක්ෂකයන් ගැන පමණක් නොව කිම් සිංගප්පූරුවට ආ දා සිට කළ කී දෑ දෙසද ලෝකයා බලා සිටියේ දැඩි කුතුහලයකිනි.
කිම් උතුරු කොරියාවේ නායකයා වූ දා සිට සිය මවු බිමෙන් තරමක දුර ඈතකට ගමන් කළ පළමු අවස්ථාව මෙය වූයේය. මීට පෙර ඔහු දකුණු කොරියාවට හා චීනයට ගියේ දුම්රියෙනි. ඇමෙරිකානු ජනාධිපති හා කිම් මුණ ගැසෙන දිනයේ කිම්ගේ සම්ප්‍රාප්තියට පෙර ගුවන් යානා දෙකක් සිංගප්පූරුවට පැමිණියේය. ඉන් එක් ගුවන් යානයකින් පැමිණියේ කළු පැහැ කලිසම් කෝට් හැඳ නිල් හා සුදු ඉරි ටයි පටි පැලැඳි දුවන ආරක්ෂකයන් ඇතුළු කිම්ගේ සමීප ආරක්ෂක බළකා සාමාජිකයන්ය. එම සමීප ආරක්ෂක බළකායට නිලධාරීහූ 300කට ආසන්න සංඛ්‍යාවක් අයත් වෙති. ඒ අතරින් කිම් වටා දුවන ආරක්ෂක බළකාය නිලධාරීන් දොළොස්දෙනකුගෙන් සමන්විතය. මේ ආරක්ෂකයෝ වට තුනකින් යුතු ආරක්ෂක වළල්ලක් ලෙස ක්‍රියාත්මක වෙති. පැය 24 පුරා කිම්ගේ ආරක්ෂාවට කැපව සිටින මේ ආරක්ෂකයෝ ඔහුගේ විශ්වාසවන්තම නිලධාරීහුය. කිම් වටා ඉතා ළඟින් සිටින මේ නිලධාරීන් තෝරා ගනු ලබන්නේ කොරියානු මහජන හමුදා සාමාජිකයන් අතරෙනි. මේ තෝරා ගැනීම ද අපූරුය. ඔවුන් කිම්ගේ උසට සමාන උසකින් යුක්ත විය යුතුය. එසේම ඔවුන් කිම්ගේ පරම්පරාවේ හෝ උතුරු කොරියානු ප්‍රභූ පවුල්වල සාමාජිකයන් විය යුතුය. මේ සියල්ලටම වඩා ඔවුන් මනා ශරීර සෞඛ්‍යයෙන් යුක්ත වීම ද දෘශ්‍ය හෝ ශ්‍රවණ ආබාධවලින් තොර වීමද මුහුණේ විශේෂ කැළැල් හා ලපවලින් තොරවීම ද වැදගත්වේ. ඒ අතරම ඔවුන් මනා ලෙස ගිනි අවි හැසිරවිමේ කලාව හා ආත්මාරක්ෂක සටන් කලාව ප්‍රගුණ කළ පුද්ගලයන් විය යුතුය. මේ සියලු සුදුසුකම් සපුරාලීමෙන් පසු කොරියානු බුද්ධි අංශ අදාළ නිලධාරියාගේ පවුල් පසුබිම ගැන පුළුල් පරීක්ෂණයක් සිදු කරයි. කිම්ගේ දුවන ආරක්ෂකයන් ලෙස තෝරා ගන්නේ පරම්පරා දෙකක් ආපස්සට ඔවුන් ගැන තොරතුරු සොයා බැලීමෙන් පසුවය. බඳවා ගැනීමෙන් පසු ඔවුහු ආරක්ෂාව පිළිබඳ විශේෂ පුහුණුවකට යොමු කරනු ලබති. මේ සියල්ලටම වඩා උතුරු කොරියානු නායකයාගේ දුවන ආරක්ෂකයන්ගේ විශේෂත්වය වන්නේ ඔවුන් සතු නිරීක්ෂණ හැකියාවයි. කිම් වටා සිටිමින් අංශක 360ක වළල්ලක් ලෙස ඔහුට ආරක්ෂාව සපයන මේ ආරක්ෂකයෝ ඔහුට ඉදිරිපසින් හා දෙපසින්ද පිටුපසින්ද සිටිති. ඔහු කුමක් කරන්නේද යන්නේ කොහේද? නවතින්නේ කොහේද? ඒ සැම තැනකටම ඔවුහු ඇස ගසාගෙන සිටිති. උතුරු කොරියානු නායකයා සමීපයේ ගිනි අවියක් තබා ගෙන සිටිය හැකි එකම කණ්ඩායම වන්නේ මේ ආරක්ෂකයන් පමණි.
කිම්ගේ ආරක්ෂාවට බඳවා ගැනීමෙන් පසු ඔවුන්ට අංකයක් සහිත හැඳුනුම්පතක් ලැබෙන අතර ඒ හැර ඔහුගේ සියලු පෞද්ගලික වාර්තා මකා දමනු ලැබේ. ඔහුට ඉන්පසු පවුලේ සාමාජිකයන් මුණ ගැසිමද තහනම්ය. කෙසේ වුව දුවන ආරක්ෂකයන් ලෙස බඳවා ගන්නේ ද එක් පවුලකින් එක් සාමාජිකයකු පමණි.
දුවන ආරක්ෂකයන් බටහිර පන්නයේ ඇඳුමින් සැරසෙද්දී කිම් ගේ රියැදුරන් සුක්කානම පහසුවෙන් කරකැවීමට හැකිවන පරිදි කපු හෝ සමින් කළ අත්වැසුම් හා පණිවුඩ හුවමාරුව සඳහා කනේ උපකරණ පැලැඳියි යුතුය. උතුරු කොරියානු නායකයා දැඩිව දුම් පානය කරන්නෙකි. ඔහු ඉල්ලූ පමණින් දීම සඳහා මේ ආරක්ෂකයෝ දුම්වැටි හා මත්පැන් ළඟ තබාගෙන සිටිති. ඒ සියල්ල ඔහුට ලබා දෙන්නේ දැඩි පරීක්ෂාවකින් පසුවය. එසේම ඔහුගේ දුරකථන ජාලය හසුරුවන්නේද ‍මේ ආරක්ෂකයන්ය.
කිම් සිය ආරක්ෂාව සඳහා මෙලෙස ආරක්ෂක නිලධාරීන් හා විවිධ උපක්‍රම යොදන්නේ මෙවන් සංචාරයකදී ඔහු ඝාතනයට ලක් වීමට ඉඩ ඇතැයි යන බිය නිසාය. කෙතරම් ආරක්ෂක විධිවිධාන යෙදුවද ඔවුන් තවමත් ආරක්ෂකයන් හඳුනාගැනීම සඳහා විශේෂිත වූ නිල පදක්කම් උරයේ පැලැඳීම, රහස් කේත අංක හා මුර පද භාවිතය වැනි ප්‍රාථමික මට්ටමේ හඳුනා ගැනීමේ ක්‍රම භාවිත කරන බව බටහිර මාධ්‍යය පවසයි.
කිම් සිංගප්පූරුවට පා තැබීමට පෙර පැමිණි ගුවන් යානා දෙ‍කෙන් එක් ගුවන් යානයකින් මේ ආරක්ෂක නිලධාරීන් හා පෞද්ගලික වෛද්‍ය කණ්ඩායම පැමිණෙද්දී අනෙකේ ඔහුගේ ලිමොසින් බෙන්ස් රථයත් ජංගම වැසිකිළියත් රැගෙන ආ බව මාධ්‍ය වාර්තා කළේය. එපමණක් නොවේ උතුරු කොරියානු නායකයාගේ සියලු අපද්‍රව්‍ය බිඳකුඳු විදෙස් බිමක නො‍හෙළා ආපසු රැගෙන යෑමටද ඔවුහූ වගබලා ගත්හ.
ලිබියාවේ හිටපු නායක ගඩාෆි බොහෝ අවස්ථාවලදී විදෙස් සංචාරයන්හිදී ඒ රටවලින් ඔහුගේ නවාතැන් සඳහා සපයන සු‍ඛෝපභෝගී හෝටලවල ලැගුම් නොගෙන ඒ ආසන්න බිමක තමා රැගෙන යන බෙඩුවින් කූඩාරමක් අටවා නවාතැන් ගන්නා බව ප්‍රකටය. එහිදී ඔහු වටා සිටිමින් ආරක්ෂාව සැපයුමේ සෙබළියන්ය. උතුරු කොරියානු නායකයාගේ ද ප්‍රාණ බිය කෙතරම් ද යත් ඔහු ඇමෙරිකානු ජනාධිපතිවරයා සමඟ එක්ව ගිවිසුම අත්සන් කරද්දී එහි තබා තිබූ පෑනෙන් අස්සන් කිරීමට මැළිකමක් දැක්වූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. නායක දෙපළ අත්සන් තබන මේසයේ අසුන් ගැනිමට පෙර පැමිණි කිම්ගේ ආරක්ෂකයකු කිම්ට අස්සන් කිරීම සඳහා තබා තිබූ පෑන අත් මේස් දැමූ දෑතින් ගෙන රෙදි කැබැල්ලකින් හොඳින් පිස දමා ආපසු තබනු බටහිර මාධ්‍ය වාර්තාකරුවකුගේ වීඩියෝ පටයකට නැංවී තිබිණ. එම පෑනෙන් අත්සන් කිරීමට පැකිළෙන කිම් දුටු ඔහුගේ සොහොයුරිය සිය කබායේ වූ පෑන කිම් අතට දුන්නාය. උතුරු කොරියානු නායකයාගේ විශ්වාසවන්තම තැනැත්තිය වන්නේ සොහොයුරිය වන කිම් යෝ ජොංග් ය‍.
කිම් කෙතරම් ජීවිතය ගැන බියද යත් තමාගේ නියම වයස හෝ දරුවන් සංඛ්‍යාව යනාදී සියලු තොරතුරු වසන් කරයි. දැඩිව මිථ්‍යා මතයන්හි එල්බ ගත් කිම් පවුල නවයේ ඉලක්කම සිය වාසනාවන්ත අංකය ලෙස සලකයි. කිම් සිංගප්පූරුවට පැමිණියේ තෙවනුව පැමිණි චීන ගුවන් සේවයේ යානයකිනි. ගමන් ගත්තේ ආරක්ෂක රථ විස්සක් පමණ පිරිවරා ගෙනය. සිංගප්පූරුව ඇමෙරිකානු ජනාධිපතිට දුන්නාටත් වඩා ආරක්ෂාවක් කිම්ට දුන්නේ උතුරු කොරියාව විසින් කළ ඉල්ලීම අනුවය. මේ සියල්ල ජිවිතය ගැන ඇති බිය නිසාය. කිම්ගේ පියා ද මෙලෙසම ආරක්ෂකයන් තබා ගත්තෙකි. ඔහු ගුවන් ගමන්වලට ද දැඩි බියක් දැක්වූවෙකි. උතුරු කොරියාව යනු ලොව විශාලතම හමුදාව නඩත්තු කරන රටය. කිම් පවුලේ ආරක්ෂාව සඳහා නිලධාරීන් යොදා ගන්නේ හමුදාවේ එලයිට් යුනිට් නමැති බළකායෙනි. මරණ බිය කෙතරම් ද යත් ඒ සියලු බළකායන් ස්ථානගත කර ඇත්තේ ද කිම් පවුලේ වාසස්ථාන අසලය.

උපුටාගත් ලිපියක් ඇසුරෙනි

No comments:

Post a Comment

ශ්‍රීපාද අඩවියේ ගුප්ත ඇත් සොහොන

ශ්‍රී පාද අඩවිය ගුප්ත අබිරහස්වලින් සැඟවී ගිය ස්ථානයකි. එහි නිතිපතා අලුත් යමක් සිදුවෙයි. කලක් හැටන් ශ්‍රී පාද මහා විද්‍යාලයේද ඉන්පසු මස්කෙළ...