අපායට පිවිසෙන එක් දොරටුවක්.


Image may contain: sky and outdoor

ඉතාලියේ රෝම නගරයට පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ ඉමහත් ආකර්ෂණයට බඳුන් වූ පෞරාණික වටිනාකමක් සහිත ස්ථානයක් ලෙස කොලෝසියම හැඳින්විය හැකිය. මෙය නූතන ලෝකයේ පුදුම හතෙන් එකක් ලෙසද නම් කර ඇති අතර එය ෆ්ලේවියන් රංග පීඨය ලෙසද හඳුන්වනු ලැබේ. ක්‍රිස්තු වර්ෂ 72 දී ෆ්ලේවියන් අධිරාජ්‍යයේ ආරම්භක 
අධිරාජ්‍යයා වූ වෙස්පාසියන් අධිරාජ්‍යයා විසින් ඉදිකිරීම ආරම්භ කරන ලද මෙම සුවිසල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු අවසන් වූයේ ක්‍රිස්තු වර්ෂ 80 දී වෙස්පාසියන් අධිරාජ්‍යයාගේ මරණින් වසරකට පසුවය.Image may contain: outdoor
වෙස්පාසියන් අධිරාජ්‍යයාට අවශ්‍ය වූයේ මෙම රංග පීඨය රෝමයේ පමණක් නොව ලොව අංක එකේ වනසත්ව ප්‍රරදර්ශන සටන් සිදු කරන ස්ථානයක් බවට පත් කිරීමය. ඔහුගේ මරණයත් සමග ඔහුගේ පුතු ටයිටස් කුමරු විසින් මෙම ස්ථානය පවත්වාගෙන යාමේ කටයුතු භාරගෙන තිබිණි. ඒ අනුව රෝමයේ අතිදක්ෂ ග්ලැඩියේටර්වරුන්ගේ සටන් සහ සිංහයන් ඇතුළු දරුණු වනසතුන්ගේ සටන් මෙහිදී රෝම වැසියන්ට දැක බලා ගන්නට හැකියාව ලැබිණි.
රෝම ඉතිහාසය පවසන අන්දමට වන සත්ව සටන් පැවැත්වීමට දින නියම කරගන්නා මොහොතේ සිට සති ගණන් හෝ මාස ගණන් මෙම ස්ථානයේ රඳවා ඇති වන සතුන්ට ආහාර ලබා දීම සීමා කෙරේ. දිනකට කිලෝ 100ක් පමණ බරැති ගවයෙකු ආහාරයට ගත හැකි සිංහයන් වෙත ලැබෙන්නේ කිලෝ 15ක පමණ මස් කුට්ටි පමණි. එවැනි ක්‍රම මගින් ඔවුන්ගේ කුසගින්නත්, වියරුවත් උග්‍රකර අවසානයේ සටන් බිමට එවනු ලබති. සමහර අවස්ථාවල මෙවැනි සිංහයන් සහ ග්ලැඩියේටර්වරුන් අතර පවා සටන් පැවැත්වේ. එවැනි සටන්වලදී දරුණු සිංහයන් පරදවා ග්ලැඩියේටර්වරයා සටනින් ජය ගතහොත් ඉතා ඉහළ මිලකට එම ග්ලැඩියේටර්වරයා වෙන්දේසි කිරීමට කටයුතු කරනු ලැබේ.
ලෝකයේ බොහොමයක් රටවල් මෙම ගොඩනැගිල්ල හඳුන්වනු ලැබ ඇත්තේ අපායට පිවිසෙන දොරටු හතෙන් එක්
දොරටුවක් ලෙසිනි. එයට හේතුව සටන් කිරීම සඳහා මෙම ස්ථානයට ඇතුළුවන ඕනෑම පුද්ගලයෙකුට, විශේෂයෙන්ම ග්ලැඩියේටර්වරයෙකුට ඉන් පිටවීමට අවස්ථාවක් ලැබෙන්නේ ඉතාම කලාතුරකින් වන බැවිනි. බොහෝවිට සිදු වන්නේ ඔවුන්ට ජීවත් වන්නට අවස්ථාවක් නොලැබ එය තුළදීම වන සත්වයෙකුගේ හෝ වෙනත් සටන්කරුවෙකුගේ මරු පහරින් මිය යන්නටය. රෝම ඉතිහාසයේ සඳහන් වන පරිදි කොලෝසියම තුළ දී සටන් කරනු ලැබ මිය ගිය ග්ලැඩියේටර්වරුන් ගණන ලක්ෂය ඉක්මවා තිබේ. වන සතුන් ගණන තිස් දහසක් පමණවේ. ඊට අමතරව විවිධ වැරදිවලට හසු වූ රෝම වැසියන් පනස් දහසකට අධික පිරිසක් කොලෝසියම තුළදී විවිධ වද හිංසාවලට ලක්ව මරණයට පත් කර තිබේ. ඒ නිසා එය වධකාගාරයක් ලෙස ද හැඳින්විය හැකිය. එනම් අධික කුස ගින්නේ පසුවන වන සතුන්ගේ ආහාර ලෙස ඔවුන්ගේ කූඩු තුළට දැමීමෙන් සහ පණ පිටින් ගිනි තැබීමෙන් ඔවුන් මරණයට පත් කර තිබෙන්නේ නරඹන්නන්ගේ ප්‍රීති ඝෝෂා මැද බවද වාර්තා වේ.
කොලෝසියම නම් වූ මෙම ගොඩනැගිල්ලේ උස මීටර් 48කි. එවකට රෝම අධිරාජ්‍යවරුන්ගේ මන්දිර පවා එතරම් උසින් යුක්තව ඉදිකෙරුණේ නැත. කොලෝසියම මෙතරම් උසින් වැඩි වන පරිදි ඉදිකර තිබෙන්නේ එය තුළ සිදුවන අමානුෂික සහ කෲර සිදුවීම් ලෝකයෙන් ස`ගවන්නට විය යුතු බව ඉතිහාසඥයන්ගේ අදහසයි. කොලෝසියම පිළිබඳව විවිධ මත ඉදිරිපත් කරන දෛවඥයන්ට අනුව අතීතයේ සිට විසි වන සියවසේ මුල භාගය වන තුරු කොලෝසියම තුළ දරුණු භූතාත්ම සැරිසරා තිබේ. ඔවුන් ‘බ්ලැක් මැජික්’ නමින් හඳුන්වන මරණයේ ක්‍රීඩාව කරමින් කොලෝසියම තුළ සැරිසැරූ බවද රාත‍්‍රී කාලයේ කොලෝසියම තුළට ඇතුළු වන ආරක්ෂකයන් බිය වද්දමින් මරණයට පත් කර ඇති බවද පැවැසේ.
නමුත් 1990 වසරින් පසු රෝම රජය විසින් කොලෝසියම සංරක්ෂණය කර එය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කිරීමෙන් පසු ඉහත කී භූතාත්ම සහ නපුරු ආත්ම එම ස්ථානය අතහැර නැවතත් අපාය වෙතම ගොස් ඇති බවත්, යම් යම් කාලවලදී ඔවුන් නැවතත් කොලෝසියම තුළට පැමිණ සංචාරකයන් බියවද්දන බවත් දෛවඥයන්ගේ අදහසයි. එපමණක් නොව, රෝම නගරය අද දක්වාත් ලෝකයේ නම් දැරූ නගරයක්ව පවතින්නට හේතුව කොලෝසියම තුළ සැරිසරන යහපත් ආත්ම බවටත්, යම් දිනක කොලෝසියම විනාශ වුවහොත් එම යහපත් ආත්මයන් විසින් රෝම නගරයද විනාශයට ඇද දමන බවටත් මතයක් තිබේ. මේ නිසා සදාකාලිකවම කොලෝසියම විනාශ වන්නට ඉඩ නොදී ආරක්ෂා කළ යුතුය යන්න ඔවුන්ගේ අදහසය.

Comments