~ කොසොල් රජුට ඇසුණ අපායේ හඬ ~

එකල ලොව්තුරු මාගේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවත්නුවර ඡේතවනාරාමයේ ය. උන්වහන්සේ තම ජීවිතයෙන් වැඩි කාලයක්‌ ගත කරන්න යෙදුනේ මේ පිංබිමේය. ඡේතවනාරාම පුන්‍ය භූමියේදී නිවන් පසක්‌ කර ගත්තෝ නම් බොහෝ ය. එය ගණනින් නම් කිව නොහැකිම ය. අද මා ඔබට කියාදීමට බලාපොරොත්තු වන්නේ ඡේතවන පිං බිමේදී බුදුපියාණන් වහන්සේ ඔබ අප කාටත් දේශනා කළ උතුම් ධර්ම කාරණාවක්‌ පිළිබඳවයි. එනම් අනුවණයා බොහො අකුසල් කොට සසර දිග්ගසා ගන්නා ආකාරයයි. මේ ධර්ම කාරණය ඔබ අප කාටත් සසරේ තරම තේරුම් ගැනීමට මොනවට උපකාරී වේ. මේ ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොසොල් මහ රජතුමා උදෙසාය. එතුමා කම් සැපයට ගිජු පුද්ගලයකු බව අප සියල්ලෝම දන්නා කාරණයකි.

කොසොල් මහ රජතුමා යනු එවකට එනම් බුදුරජාණන් වහන්සේ මෙලොවට පහළ වු කාලයේ භාරතයේ සිටි ඉතා ප්‍රබල රජවරුන් සිව්දෙනාගෙන් එක්‌ අයෙකි. බිම්බිසාර රජු, වත්ස රජු, චන්ඩපඡ්ජෝත රජු අනෙක්‌ බලසම්පන්න රජවරුන් තිදෙනාය. කොසොල් රජු ඉතා බලසම්පන්න රජෙකි. නමුත් එතුමා කම් සැපයට දැකුවුයේ මහ පුදුමාකාර ලොල් බවකි. එතුමා නිතරම උත්සාහ කළේ රූමත් කාන්තාවන්ගෙන් තම අන්තඃපුරය පුරවා ගැනීමටය.

භාරතීය රජවරුන්ගේ පෙර සිට පැවති සිරිතක්‌ විය. එනම් සියලු ආභරණයෙන් සැරසී පිරිවර ජනයා සමඟ තම නුවර සංචාරය කිරීමයි. රජු නුවර පැදකුණු කිරීමට පෙර ඒ බව අණබෙරයක්‌ මගින් රට වැසියන්ට දැනුම් දෙයි. රට වැසියා ඉතා ප්‍රීතියෙන් තම රජුට ආචාර කිරීමට නුවර සරසති. මග දෙපස සිට රාජශ්‍රීය බලමින් සතුටු වෙති.

කොසොල් මහ රජතුමන් ද මෙම චාරිත්‍රය අකුරටම ඉටු කළ රජෙකි. එතුමා නුවර පැදකුණු කරන්නේ විශේෂයෙන්ම එතුමාගේ නෙත රූමක්‌ කාන්තාවන් කෙරෙහි යොමු වූයේ රජුටත් නොදැනීමය. රූමත් කාන්තාවන්ගේ බැල්මෙන් වශී වන රජු ඊළඟට කරන්නේ එම කාන්තාවන් විවාහකද අවිවාහක ද කියා සොයා බැලීමයි. මේ සඳහාම විශේෂිත වූ ඇමැතිවරුන් සේම රාජ පුරුෂයන් ද රජුට විය. රූමත් යුවතියෝ අවිවාහක නම් රජ අණින් ඇය අන්තඃපුරයට කැඳවයි. රූමත් යුවතිය විවාහක නම් රජු කරන්නේ කුමන හෝ චෝදනාවකින් ඇගේ ස්‌වාමියා සිරගත කොට මරා දමා ඇය අන්තඃපුරයට කැඳවා ගැනීමයි. මේ දිනපතා බුදු බණ ඇසීමට දෙව්රමට ගිය රජුගේ අභ්‍යන්තර ජීවිතයේ ස්‌වභාවයයි.

කාලයක්‌ ගත විය. දිනක්‌ කොසොල් මහ රජු සිව් සැට අබරණින් සැරසී නුවර පැදකුණු කරයි. එවේලේ එක්‌තරා තැනක උඩුමහලේ රූමත් යුවතියක්‌ රජුගේ නෙත ගැටුනි. සිත චංචල විය. රජු රාගයෙන් රත්විය.රජු බලාගත් අතම ඇය දෙස බලාගෙන සිටියි. දැන් ඇය මාලිගයට කැඳවා ගන්නා තුරු මහ රජුට නිවනක්‌ නම් නැත. මේ කාරණය දත් ඇමැතිවරුන් පළමුව කළේ මේ යුවතිය පිළිබඳ සොයා බැලීමයි. එය ඉතා රහසේම සිදුවිය. සියලු තොරතුරු දත් චරපුරුෂයන් පැවසුවේ මේ යුවතිය විවාහක ගුණවත් කාන්තාවක්‌ බවත් ඇගේ සැමියා තෙරුවන් සරණ ගිය උපාසකයකු බවත් ඔහු නිරතුරු බුදුරදුන් දක්‌නට යන බවත් ය.

නමුත් රජුගේ සිත වෙනස්‌ කළ නොහැකිමය. රාග ෙච්තනාව ගිනි ජාලාවක්‌ සේ දිවා රෑ රජු දවයි. දැන් රජු හා සල්ලාල ඇමැතිවරුන් සැලසුම් කරන්නේ මේ යුවතියගේ ස්‌වාමියා කුමන හෝ චෝදනාවකට වැරදිකරු කරන්නේ කෙසේද කියා ය. මේ අනුව රජු හා ඇමැතිවරුන් අපූරු සැලසුමක්‌ දියත් කළෝය. ඒ අනුව රූමත් යුවතියගේ ස්‌වාමියාට රජ වාසලට එන ලෙස අණ ලැබිණි. බියට පත් මේ අසරණ මිනිසා එවේලේම රජ වාසලට පැමිණියේය. රජ ඔහුට පසුදින සවස රජු නහන වේලාවට පෙර කඩුපුල් මල් හා අරුණවන් මැටි ගෙන එන ලෙස අණ කළේය. කඩුපුල් මල් හා අරුණවන් මැටි ඇත්තේ මේ ලෝකයේ නොව නාග ලොවෙහි ය. රජු මේ සැරසෙන්නේ කෙසේ හෝ මේ මිනිසා මරා ඔහුගේ බිරිඳ අයිති කර ගැනීමටයි. නිවසට ගිය මේ අසරණ මිනිසා මේ සියලු පුවත් තම බිරිඳට සැළකොට පසුදින බත් මුලක්‌ ද ගෙන කඩුපුල් මල් හා අරුණවන් මැටි ගෙන ඒම සඳහා පිටත් විය. ඔහු නුවරින් පිටව ගිය පසු රජු අණ කළේ වාසල් දොරටුව වේලාසනින් වසා දමන ලෙසයි.

මේ අසරණ මිනිසා මේ සොයා යන්නේ මෙලොව ඇති දෙයක්‌ නොවේ. රාජ උදහසට පත්ව මිය යැමට සිදුවන බව ඔහු හො¹කාරව දනියි. කරන්නේ කුමක්‌ද? බොහෝ දුකට පත් මේ මිනිසා අතරමඟදී තම බත්මුලෙන් කොටසක්‌ මගියකුට දන් දෙන ලදී. ගං ඉවුරට ගිය මොහු ඉතිරි කොටස අනුභව කොට ගඟ මසුන්ට බත් දෙන ලදී.

ඉන් පසු මොහු මෙසේ ප්‍රාර්ථනාවක්‌ කළේය. "මේ ගඟ ඇසුරුව වසන දෙවියනි, නයිනි, මා අතරමඟදී මඟියෙකුට බත් දුනිමි. දැන් ගඟ මසුන්ට බත් දුනිමි. මේ පින මම ඔබට අනුමෝදන් කරමි. මා හට කඩුපුල් මල් හා අරුණවන් මැටි ලබා දී මා ආරක්‍ෂා කරනු මැනවි." පිංවත්නි මේ ප්‍රාර්ථනාව ඇසුණු ඒ ගඟ නා රජු කරුණාවෙන් යුක්‌ත වූයේ මහලු මිනිසකුගේ වේෂයෙන් පැමිණ මේ මිනිසාට කඩුපුල් මල් හා අරුණවන් මැටි ලබාදුනි. සතුටින් පිනා ගිය මොහු නුවරට යන්නේ වාසල් දොර වසා ඇති බැවින් කඩුපුල් මල් හා අරුණවන් මැටි තාප්පයමත තබා දෙව්රම් වෙහෙරට ගොස්‌ රැය පහන් කළේය.

රජු එදා නින්දට ගියේ ඉමහත් සතුටිනි. හෙට උදැසන රූමත් යුවතියගේ ස්‌වාමියා මරා දමා ඇය මාලිගාවට ගෙන ආ හැක. ඇයගේ පහස විඳ සැනසිය හැක. ඇයගේ ආදරය විඳ ප්‍රීති ප්‍රමෝදයට පත්විය හැක. දැන් රජු උදැසන වනතුරු බලා සිටින්නේ නො ඉවසිල්ලෙනි. රාගය කොතෙක්‌ ද යත් රජුට නින්ද අමතක විය. රජු දැන් නොනිදා රැය පහන් කරයි. මාලිගාවේ අනෙක්‌ සියල්ලෝම නිදිය. දැන් මැදියම් රැය උදාවිය.

දැන් සිදුවන්නේ කුමක්‌ද? එක්‌වරම මහ හඬක්‌ නැගුණි. මාලිගාව දෙදරා ගියේය. ඒ හඬ කන් බිහිරි කරවන තරම් විය. ඒ ශබ්දයෙන් කියවුණේ දු- ස- න - සෝ යන ශබ්දයයි. දු-ස-න-සෝ යන ශබ්දයෙහි තේරුම කුමක්‌ද? රජු මහත් සේ බියට පත්විය. ගත දහඩියෙන් තෙත් විය. වෙව්ලන්නට විය. කිසිත් කර කියා ගත හැක්‌කක්‌ නොවීය. රජු ගල් පිළිමයක්‌ සේ දැස්‌ දල්වා රැය පහන් කළේය. උදැසන අවදි වූ රජු සැනකින් දෙව්රමට දිව ගියේය. ලොව්තුරු බුදුරදුන් හමුවට ගිය මහ රජු රාත්‍රි කාලයේ තමාට ඇසුණු බියකරු හඬවල් හතර පිළිබඳ දැන්වීය. මේ පුවත ඇසූ බුදුරජාණන් වහන්සේ රජුට මෙසේ පැවැසීය.

"මහරජ මේ හඬවල් සතර නිසා ඔබට වන හානියක්‌ නැත. මේ පෙර ආත්මයක කාමයේ වරදවා හැසිරුණු සිටු කුමාරවරුන් සිව්දෙනෙක්‌ ලෝකුඹු නරකයේ දුක්‌ විඳින ආකාරයයි. ඔබට ඇසුණේ ඔවුන්ගේ දුක පැවසීමට උත්සාහ ගන්නා ගාථාවන්ගේ පළමු අක්‍ෂර හතරයි. ඉතිරි කොටස කියා පෑමට සූදානම් වන විටම ඔවුන් ලෝ දිය සැලියෙහි ගිලී යයි" මෙසේ පැවසූ මාගේ බුදුපියාණන් වහන්සේ අකුසල කර්ම කොට නිරයේ දුක්‌ විඳින කුමාරවරුන්ගේ දුක කියා පෑමට උත්සාහ ගන්නා ගාථාවන් මෙසේ වදාළහ.

දුඡ්ජිවිතං අජීවිම්හ යේ සන්තෙන දදම්හසේ - විඡ්ජමානේසු හොගෙසු දීපං නා කම්ම අත්තනො (අපි දන් නුදුන්නෙමු, දුසිරිතෙහි හැසිරී පවිටු ජීවිතයක්‌ ගත කළෙමු.)

සට්‌ඨදීං වස්‌ස සහස්‌සානි පරිපුණ්‌ණානි සබ්බසෝ - නිරයේ පච්ච මානානං කදා අන්තෝ භවිස්‌සති (අපි සැට දහසක්‌ නිරයේ දුක්‌ විඳින්නෙමු. මෙහි කෙළවර නම් කවදා ද?)

නත්ථි අන්තෝ කුතෝ අන්තෝන අන්තෝ පති දිස්‌සති - තදා හි පකතං පාපං මම තුය්හං මාරිස (කරන ලද අකුසල් බොහෝ හෙයින් දුකෙහි කෙළවරක්‌ නොමැත.)

සෝහි නූන ඉතෝ ගන්ත්වා යෝනිං ලද්දාන මානුසිං - වදඤ්ඤු සීල සම්පන්නෝ කාහාමි කුසලං බහුං (මම මේ නිරයෙන් නික්‌මුණහොත් සිල්වත් වෙමි. බොහෝ කුසල් කරමි. කුසලයේ අනුහස්‌ කියමි.)

මහරජ ඔබට මේ ඇසුනේ මෙම ගාථාවන්ගේ පළමු අකුරු හතරයි. මේ පුවත ඇසූ කොසොල් මහ රජු මහත් සේ බියට පත් විය. තමන් කරන්නට ගිය අකුසල කර්මයේ තරම ඉතා හොඳින්ම රජුට තේරුම් ගියේය. රජු මේ පිළිබඳව කම්පාවට පත් විය. කිසි දිනෙක කාමයෙහි වරදවා නො හැසිරීමට රජු අදිටන් කර ගත්හ. ඉන් පසු රජු කිසි දිනෙක රූමත් යුවතියන් පසුපස ගියේ නැත.

මේ සිදුවීම අලලා මාගේ ලොව්තුරු බුදුරජාණන් වහන්සේ වදාළේ "දීඝ ජාගරතෝ රත්තී - නිදි වරන්නාට රැය දිග බව ද, දීඝං සන්තස්‌ස යෝජනං - ගමන් වෙහෙස ඇත්තාට යොදුන දුර බවද, දීඝෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතෝ - සද්ධර්මය පිළිනොපදින්නා වූ අනුවණයාට සසර දිග බවයි. බලන්න මේ ධර්ම දේශනාව මොන තරම් නම් වැදගත්ද කියා.

මේ ධර්ම දේශනාව තුළින් අප අපගේ ජීවිතයේ ඇති අඩුපාඩු හොඳින් හඳුනාගෙන ඒවා නිවැරැදි කර ගැනීමට මහන්සි විය යුතු අතර උතුම් බුදු බණ අපගේ ජීවිතයට සම්බන්ධ කොට ගෙන ජීවත් වීමට නිතරම උත්සාහවන්ත විය යුතුය. සසර ඉතා කටුකය. භයංකරය. එය අප නොපෙනෙන ඈතකට ගෙන යන මහත් සැඩ පහරකි. ඉතින් අප මේ සසරෙන් ගොඩ ආ යුතුය. බුදුරජාණන් වහන්සේ ඊට මඟ පෙන්වා ඇත. මාවත ඉතා පැහැදිලිය. අප නිවනින් සැනසීමට ඉක්‌මන් වෙමු. සැබැවින් ම ඔබටත් මටත් එය කළ හැක.

ඔබ සැමට තෙරුවන් සරණයි..
දිවයින බුදුමඟ අන්තර්ජාල කලාපය-ඕලුගම ඉන්දරතන හිමි

Comments