හිට්ලර් ගේ අවුස්විට්ස් වධකාගාරය

 වර්ෂ 1940 අප්‍රේල් මස, එස්. එස්. හමුදා ප්‍රධානී හෙන්රිච් හිම්ලර්ගේ නියෝගයකට අනුව ජර්මනියේ විශාලතම වධකාගාරය වූ අවුස්විට්ස් වධකාගාරය ඉදිකරන ලදි. දෙවන ලෝක යුද සමයේ ජර්මනිය විසින් පෝලන්තයෙන් ඈඳාගත් කොටසක් වන දකුණු පෝලන්තයේ ප්‍රදේශයක් (Oświęcim) තුළ ඉදි කෙරුණු මෙය, යුදෙව්වන්ගේ මරණයේ පියස්ස බවට පත් විය. ප්‍රධාන කඳවුරු තුනෙන් පළමු කඳවුර සිරකරුවන් රඳවා තබා ගැනීමට භාවිත කළ අතර දෙවන කඳවුර යුදෙව්වන් සමූල ඝාතනය කිරීම සඳහා ද තෙවන කඳවුර සිරකරුවන්ගෙන් බලහත්කාර ශ්‍රමය ලබා ගැනීමට ද යොදා ගන්නා ලදී.

අවුස්විට්ස් I සහ II යන වධකාගාරයන් වටා විදුලිය කවන ලද මීටර් හතරක් උසැති කටු කම්බි වැටක් ඉදි කර තිබුණි. ඒ වටා නිරන්තරයෙන් මැෂින් තුවක්කු සහ රයිෆල් අතැතිව මුරට සිටින ජර්මානු එස්. එස්. හමුදා නිලධාරීන් දැක ගත හැකි විය. කඳවුරු ද්විත්වය පිහිටා තිබුණේ මුර වැටට සැතපුම් තුනෙන් දෙකක් පමණ ඔබ්බෙනි. එකී දුර ප්‍රමාණය තුළ මුර කපොලු මාලාවක් පිහිටා තිබුණේ වධකාගාරයෙන් මැස්සෙකුට හෝ රිංගා යාමට නොහැකි බව තවදුරටත් තහවුරු කරමිනි. මේ තරම් දැඩි මුරකාවල් මධ්‍යයේ පිහිටා තිබුණු අවුස්විට්ස් වධකාගාරයට වර්ෂ 1942 මාර්තු මස වන විට, වරකට යුදෙව්වන් දහසකට අධික ප්‍රමාණයක් එකගොඩට ගාල් කරන ලද මරණයේ දුම්රිය වාර කිහිපයක්, දිනපතා වාර්තා කරන ලදී.

වර්ෂ 1942 වර්ෂය පුරාම පෝලන්තය, ස්ලෝවැකියාව, නෙදර්ලන්තය, බෙල්ජියම, සහ යුගෝස්ලෝවියාව වැනි රාජ්‍යයන් වෙතින් එසේ යුදෙව්වන් මරණයේ දොරටුව කරා ප්‍රවාහනය කරන ලදී.දුම්රියෙන් ගොඩ බැස් වූ විගස වැඩ කළ හැකි පුද්ගලයන් එක ගොඩකටත්, වැඩ කළ නොහැකි තැනැත්තන් වන කුඩා දරුවන්, මව්වරුන්, රෝගී පුද්ගලයන් සහ මහලු පුද්ගලයන් තවත් ගොඩකටත් වෙන් කරන ලදී.
මින් පළමු කාණ්ඩයේ සිරකරුවන්ගේ හිස් මුඩු කර, ඔවුනට බන්ධනාගාර ඇඳුම් අන්දා, වම් අතෙහි ලියාපදිංචි අංකයක් හංවඩු ගසා ඉන් අනතුරුව මොනොවිට්ස් ප්‍රදේශයේ පිහිටා තිබූ අවුස්විට්ස් III වධකාගාරය තුළ හෝ අවුස්විට්ස් I වධකාගාරය තුළ ගාල් කර ඔවුන්ගෙන් බලහත්කාරයෙන් ශ්‍රමය ලබාගන්නා ලදී.
වැඩ කළ නොහැකි මට්ටමේ පුද්ගලයන්ගේ අවසන් සුසුම් අනුකම්පා විරහිතව ගෑස් කුටීර තුළ පැතිරි විෂ වාතලයට මුසු කෙරිණි. කොටසක් මෙසේ මරා දමන කල්හි තවත් කොටසක් කඳවුර තුළ වූ අධික තදබදය හේතුවෙන් හටගත් සාගතයත්, ලෙඩ රෝගත් හේතුවෙන් මරණයට පත් විය.

අවුස්විට්ස් වධකාගාරය II හෙවත් බර්කීනු (Birkenau) වධකාගාරය තුළ ගෑස් කාමර සහ ආදාහනාගාර ඉදි කර තිබූ අතර දිනකට විසි දහසකට අධික ප්‍රමාණයක් යුදෙව්වන් මේවා තුළ දී නාසීන් අතින් ඝාතනයට ලක් විය. විනාඩි පහළොවක් හෝ විස්සක් තුළ තම හුස්ම පොද නාසීන් විසින් ඩැහැ ගන්නා බව දනිමින්ද නොදනිමින් ද, ඇඳ සිටි ඇඳුම් උනා දමා ගෑස් කාමර තුළට පෝළිමට ගමන් කිරීමට මරණයේ නිහැඬියාව විසින් අසරණ යුදෙව්වන්ට බල කරන ලදී. පහසුකම් සහිත කඳවුරු තුළ ඔවුන්ව ගාල් කරන බවත්, ඊට ප්‍රථම නහා පිරිසිඳු වන ලෙසත් රැවටීමට ලක් කොට මුලදී ඔවුන්ව මෙසේ ගෑස් කාමර තුළට යවන ලදැයි පැවසේ.
බලහත්කාර ශ්‍රමය ලබා ගැනීම සඳහා රඳවා ගත් සිරකරුවන්ගේ කඳවුරු චර්යාව තුළ ඔවුනට විශාල රාජකාරී ප්‍රමාණයක් පැවරී තිබුණි. පාන්දර අවදි වීම, පිරිසිඳු කිරීම් සිදු කිරීම, උදෑසන රෝල කියවීම, වැඩ කිරීම සඳහා කැඳවාගෙන යාම, පැය ගණන් අධිකව වැඩ ගැනීම, ඉතා කුඩා ආහාර වේලක් සඳහා පැය ගණන් පෙළ ගැසී බලා සිටීමට සිදු වීම, නැවත කඳවුරට පැමිණීම, මැදිරි පරීක්ෂාව සහ සවස රෝල කියවීම දෛනික කාලසටහනක් අනුව සිදු විය. සිරකරුවන්ට ලබා දී තිබුණේ කටුක කාලගුණ තත්ත්වයන්ට ඔරොත්තු නොදෙන අන්දමේ ඉතා තුනී ඇඳුම් විය. රෝල කියවීම සිදු කරන කාලය අතරතුර පැය ගණන් නොසෙල් වී, සිය අවසාන ජීවය දක්වා සටන් කිරීමට රැඳවියන්ට සිදු වූ අතර යම් හෙයකින් රැඳවියෙක් බිම වැටුණහොත් හෝ යම් පැකිලීමක් පෙන්නුම් කළහොත් එම අවස්ථාවේදීම අදාළ රැඳවියාව මරා දමන ලදී.

Comments

  1. 20 සියවසේ ලොකුම බොරුව

    ReplyDelete
    Replies
    1. http://auschwitz.dk/Auschwitz.htm

      Delete
    2. ඔබට තවත් විස්තර අවශ්‍ය නම් විකිපීඩියා තුලිනුත් ලබාගත හැක.
      https://en.wikipedia.org/wiki/Auschwitz_concentration_camp

      Delete
    3. still believing zionist propaganda?

      Delete

Post a Comment