Friday, January 5, 2018

කොහුකුඹුරේ රටේ රාල


1818 උඩරට කැරැල්ලේ මහා සේනාපතියකු වූ කොහුකුඹුරේ රටේ රාල පිළිබඳ තොරතුරු එතරම් ප්‍රකට නොවේ. සිංහලේ නිදහස් සටනේ ජාතික වීරයන්ගේ නම් ලැයිස්තුවේ ඔහුගේ නම ඉහළින්ම සඳහන් වේ. ඔහු ගැන බොහෝ දෙනා නොදත් තොරතුරු මෙහි සඳහන් වේ.

වෙල්ස්සේ ප්‍රධාන නගරයක් වූ බිබිල මැදගමට නොදුරින් කොහුකුඹුර පුරාණ ගම්මානය පිහිටා තිබිණි. කොහුකුඹුරේ රටේ රාල කොහුකුඹුරේ පාරමුල වලව්වේ වෙද නිලමේගේ වැඩිමහල් පුත්‍රයාය. ඔහු නමින් ඇතුළත් හේරත් මුදියන්සේලාගේ ලොකු බණ්ඩාර විය. දැඩි කායශක්තියකින් හෙබි රටේ රාල පුරාණ සටන් ක්‍රම ඔහු ශිල්ප ප්‍රගුණ කළ තැනැත්තෙකි. ඔහුට බිරින්දෑවරු දෙදෙනෙක් සිටියහ. එක් බිරියක් කැන්ද වින්න දිසාවේ මොහොට්ටාලගේ වැඩිමල් සොහොයුරියයි. ඇය සිටියේ කොහුකුඹුරේ අලුපොත වත්තේය.
දෙවැන්නිය නිල්ගල කටුගම්පල වෙදරාලලාගේ දියණිය වූ ඩිංගිරි එතනාය. ඇය ජීවත් වූයේ කොහුකුඹුර ගොඩිගමුව වලව්වේය. (දැනට ගොඩිගමුව පල්ලිය පිහිටි තිබෙන්නේ එම ස්ථානයේය.) රටේ රාලට පුතුන් දෙදෙනකු සහ එක් දියණියක් සිටියේය. වැඩිමහල් පුතා නමින් සෙනරත් බණ්ඩාරය. ඔහු තඹානේ මුදියන්සේ නමින් ප්‍රසිද්ධව සිටියේය. එගොඩපත්තුවේ විදානේ තනතුර දැරීය. දෙවන පුත්‍රයා විජයලත් බණ්ඩාර ඔක්කම්පිටිය බැද්දෙ විදානේ තනතුර දැරීය. දියණිය ටිකිරි මැණිකා නම් වූ අතර ඇය බකිණිගහවෙල වලව්වේ උපසේකර මුදියන්සේ සමඟ විවාහ වී සිටියාය.


කොහුකුඹුරේ රටේ රාලගේ නැඟණිය හා විවාහ වී සිටියේ බූටාවේ රටේ රාලයි. කැරැල්ලේ බර හරි හරියට දැරුවේ මේ දෙමස්සිනාලාය. කොහුකුඹුරේ රටේ රාල බොහෝවිට රාත්‍රිය ගත කළේ කොහුකුඹුරේ අලුපොත වෙල්යාය ඉස්මත්තේ පිහිටි අලුපොත බිරියගේ නිවෙසේය. කැරැල්ල පවතිද්දී කොහුකුඹුරේ රටේ රාල අල්ලා ගැනීම සුදු හමුදාවට අසීරු කාරණයක් වූයේය. වරක් කනුල්වෙල කට්ට හින්නා, පොතුබන්ධන රටේ රාල, ඉකිරියන්කුඹුරේ කිඹුල් නයිදේ යන ඔත්තුකරුවන් තිදෙනා රාත්‍රියක සුද්දන් සමඟ අලුපොතවත්ත වට කළහ. රටේ රාල තරුණ බිරියත් සමඟ පලා ගියේය. ඔහු අත වූයේ එක් තුවක්කුවක් පමණි. එයද බෙහෙත් කොටන සාමාන්‍ය එකකි. අලුපොත ඔය හරහා දමා තිබූ ඒදණ්ඩද ඉවත්කර පලාගිය රටේ රාල පසු පස්සේ පැන්නූ සුදු ජාතිකයන් උල්පත්කුඹුර මහ වගුරේ එරුණි. ඔත්තුකරුවන් වගුරේ තරම දැන එගොඩ වුවද වගුරු ගැන නොදත් සුද්දෝ රැයක් පහන් වනතුරු කරවටක් මඩේ දඟලමින් පසුවූහ. කොහුකුඹුරේ රටේ රාලගේ මල්ලී පුංචිරාල සෙබළ මුළක් රැගෙන පැමිණ ඔත්තුකරුවන් තිදෙනා අල්ලා ගත්හ. මේ වෙල්යාය ප්‍රදේශය අදත් හඳුන්වත්තේ බොක්කේ මඩ නමිනි.

1818 කැරැල්ල බිඳ වැටෙද්දී මොනරාගල මරගල කන්දේ පිහිටුවා තිබූ කඳවුරේ සිටි කොහුකුඹුරේ රටේ රාල අත්අඩංගුවට පත් වූයේ බූටාවේට සම්බන්ධ පිරිස් ලබාදුන් ඔත්තුවකින් බවටද මතයක් පවතී. බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා 1818 ජනවාරි 10 දා ප්‍රසිද්ධියට පත් කළ ආඥාවක් මඟින් කැප්පෙට්පොළ, බූටාවේ රටේ රාල, කිවුලේගෙදර මොහොට්ටාල සහ කොහුකුඹුරේ රටේ රාල ඇතුළු 12 දෙනකු රාජ ද්‍රෝහීන් ලෙස නම් කෙරිණි. ඔවුන්ගේ දේපොළ රාජසන්තක කළේය. කොහුකුඹුරේ අත්අඩංගුවට පත් වූයේ 1818 අප්‍රේල් මාසයේය. ඔහු අල්ලා ගැනීමට මරගල කන්ද වට කළේ සේගු නූර්දීන් නම් කපිතාන්වරයකු සමඟ පැමිණි මැලේ හමුදාවකිනි. කලක් කොළඹ රඳවා සිටි ඔහු 1819 පෙබරවාරි 2 ලිවර්පුල් නෞකාවෙන් මුරුසියට පිටුවහල් කරනු ලැබ 1825 ජුනි 20 දා මුරිසියේදී මරණයට පත්විය.

Thursday, January 4, 2018

සූර්ය දේවිය..


රාමා සීතා කතාවට, රෝමියෝ ජුලියට් කතාවට වඩා අපූරු
අපේ රටේ සිද්ද වෙච්චි
ඇත්තම ඇත්ත කතාවක්...
අපේ සිංහල කාන්තාවන්ගෙ දහිරිය ගැන කතාවක්..
අහල තියෙනවද වීදිය බණ්ඩාර කුමාරය ගැන...?
කාටවත් දෙවෙනි නොවුන හටන් සූරයෙක්..
පරංගින්ට උණ ගන්නපු කුමාරයෙක්..
පරංගි වීදිය බන්ඩාර කුමාරයට කිව්වෙ "කෝට්ටෙ ව්‍යාග්‍රයා" කියල...
පරංගින්ට ඒ තරම් දරුණු විදිහට බැට දුන්නා මේ කුමාරයා ..
කුමාරය උන්නෙ කෝට්ටෙ රාජධානියෙ..
ඒ කාලෙ කෝට්ටෙ රාජධානිය සීතාවක රාජධානියයි අතරත් හටන් තිබ්බ...
සීතාවක උන්නෙ මායාදුන්නෙ රජතුමා..
එක වතාවක් වීදිය බණ්ඩාර කුමාරයා සීතාවක හමුදාව එක්ක හටනකට ඇවිදින් හිතපු නැති වෙලාවක ටිකිරි කුමාරයට පැරදුනා...
යටත් වෙන්ට සිද්ද උනා...
ඉතිං වීදිය බණ්ඩාර කුමාරයට සීතාවක හිර කාරයෙක් වෙන්ටත් සිද්ද උනා...
වීදිය බණ්ඩාර කුමාරයව හිර කලේ ගලින්ම බැදපු හිර කුටියක..
කාටවත් කුමාරයව මුණ ගැහෙන්ට අවසර තිබුනෙ නෑ..
මායාදුන්නෙ රජතුමාට උන්නා දූ කුමරියක්...
කුමාරිගෙ නම සූර්ය දේවිය..
සූරිය දේවියට ආරංචි උනා මේ හටන් සූරයා තමන්ගෙ රාජධානියේ හිර කාරයෙක් වෙලා කියල..
කුමාරි පිය රජතුමා ලගට ගිහින් අවසරයක් ඉල්ලුවා..
"පිය රජතුමනි, ඒ කුමාරයත් අපි වගේම පරංගින්ට විරුද්දව හටන් කරපු කුමාරයෙක්නෙ... මට වීදිය බන්ඩාර කුමාරයත් එක්ක ටිකක් කතා කරන්ට අවසර දෙන්ට.." කියල...
කුමාරි බොහෝම පෙරැත්ත කරාට පස්සෙ පිය රජතුමාගෙ අවසරේ ලැබෙනව...
කුමාරි යනව වීදිය බණ්ඩාර කුමාරයගෙ හිර කුටිය ලගට.. කුමාරයත් එක්ක කතා කරන්ට ..
කුමාරයගෙ වීර කමට සුර්ය දේවි කුමරියගෙ හිත බැදෙනව..
දෙන්න අතරෙ ආලවන්ත කමක් ඇති වෙනව...
දවසක් දා රෑ....
වීදිය බණ්ඩාර කුමාරයගෙ හිර කුටියට ආපු සූර්ය දේවි කුමාරයට පැනල යන්ට ඉඩ හදල දෙනවා...
කුමාරයා හිරෙන් පැනල ආපහු කෝට්ටෙ රාජධානියට ගියා...
ඊට පස්සෙ චර පුරුෂයො යවල හොරෙන්ම සූර්ය දේවිව කෝට්ටෙ රාජධානියට ගෙන්නගෙන සරණ පාවා ගත්තා..
ඊට කාලෙකට පස්සෙ
පරංගිත් එක්ක ඇති වෙච්චි හටනකදි..
වීදිය බණ්ඩාර කුමාරය පරංගින්ට අහු වෙනව....
පරංගි කුමාරයව කොලඹ කොටුවට ගෙනියනව.. කොලඹ පරංගි කොටුව ඇතුලෙ හිර කුටියක වීදිය බණ්ඩාර කුමාරයා හිර කාරයෙක් වෙනවා..
තමන්ට මෙච්චර කාලයක් දරුණු තර්ජනයක් වෙච්චි "කෝට්ටේ ව්‍යාග්‍රයා"ට තමන් අතින්ම දඩුවමක් දෙන්ට පරංගි රජුට ඕන උනා...
ඒ නිසා කුමාරයාව පෘතුගාලෙ ගෝවේ නුවරට ගෙනියන්ට තීන්දු උනා...
වීදිය බණ්ඩාර කුමාරයගෙ බිසව... ඒ කියන්නෙ අපේ සූර්ය දේවි කුමාරි..
හරි සූර මොලේ ඇති කුමාරිකාවක්...
චර පුරුෂයො පරංගි කොටුව ඇතුලට යවල මේ හැම කාරණාවක්ම හොයා ගන්නව...
ඊට පස්සෙ පරංගි බලකොටුව ඇතුලෙ සිතියමකුත් හදා ගන්නව....
වීදිය බණ්ඩාර කුමාරයව ගෝවෙට යවන්ට සූදානම් කරන්ට කලියෙන් සූර්ය දේවි තමන්ගෙ සැලසුම ක්‍රියාත්මක කරන්ට පටන් ගන්නව....
පල්ලර කුලේ උමං කණින්න දක්ෂ මිනිස්සු ටිකකුත් හොයාගෙන
පරංගි බලකොටුවෙ හිර කුටිය වෙනකල් දෝනාවක් කපනවා...
මේ දෝනාව හාරගෙන ගොහින් වීදිය බණ්ඩාර කුමාරයව බේර ගෙන රයිගමට පැනලා යනවා...
වීදිය බණ්ඩාර කුමාරයට ඉන් පස්සෙත් පරංගිත් එක්ක හටන් කරන්ට ඇහැකි වෙන්නෙ ඒ හින්ද...

Tuesday, November 28, 2017

මුල්ලේරියා සංග්‍රාමය


ශ්‍රී ලාංකික ඉතිහාසයේ ජනතාව තොලග රැව්දුන් කවියකි. එහි එක් පදයකින් කියවුණේ ‘මුල්ලේරියා වේලේ වතුර ලෙයට හැරවුණා‘ යනුවෙනි. මේ 1562 දී කෝට්ටේ රාජධානිය වෙනුවෙන් සීතාවක ආක්‍රමණය කිරීමට පැමිණි පෘතුගීසි හමුදා සහ ටිකිරි කුමාරයා (රාසිං දෙවියන්) හෙවත් මායාදුන්නේ රජුගේ පුත් ටිකිරි බණ්ඩාර කුමරුගේ නායකත්වයෙන් යුත් සීතාවක හමුදාව අතරය. පෘතුගීසි හමුදාව මෙසේ සීතාවක නම් උප රාජධානිය ආක්‍රමණය කිරීමට පැමිණියේ කෝට්ටේ හෙවත් ප්‍රධාන රාජධානියේ එවක නීත්‍යනුකූල රජු වූ දොන් ජුවාන් ධර්මපාල රජතුමාගේ නියමය පරිදි එසේ කරන්නේය යැයි ප්‍රකාශ කරමිනි මෙම ඓතිහාසික සංග්‍රාමයේදී ටිකිරි කුමරුගේ හමුදා අතින් පෘතුගීසි හමුදා සමූල ඝාතනය වූ අතර එම ගැටුමෙන් මුල්ලේරියා වෙල්යායෙහි වතුර ලේ පැහැයට හැරුණු බව ජනප්‍රවාදයේ කියැවෙයි.

කටේ කිරි සුවඳ යන්නට පවා බැරිවුණා
යුදට උපන් කුමරිදු යයි නමක් ඇතිවුණා
මුලෙරියා වෙලේ වතුර ලෙයට හැරවුණා
ටිකිරි කුමරු රාජසිංහ නමින් රජවුණා

1562 වර්ෂය වන විට පරංගි නොහොත් පෘතිගීසි ජාතිකයන් කොලොම්තොට එනම් කොළඹ කොටුව ආශ්‍රිතව බලකොටු බැඳගෙන මහත් තර්ජනයක්ව තිබුණි. මේ වන විට ජයවර්ධනපුර කෝට්ටේ රාජධාරීයේ රාජ්‍ය හෙබවූ බුවනෙකබාහුගේ රජුගේ මුණුබුරු දොන් ජුවන් ධර්මපාල නොහොත් කොනප්පු බණ්ඩාර වූ අතර ඔහුගේ ‍දෙමව්පියන් වූයේ වීදිය බණ්ඩාර හා සමුදදේවී ය. මෙකල සීතාවක රාජ්‍යත්වය දැරූයේ බුවනෙකබාහු රජුගේ මළණුවන් වූ මායාදුන්නේ රජතුමා වූ අතර සුප්‍රසිද්ධ ටිකිරි කුමාරයා යනු ඔහුගේ පුතණුවන් ය. කෙසේ වෙතත් කාලයක් තිස්සේ කොට්ටේ රාජ්‍ය හා සීතාවක රාජ්‍ය අතර යුධ ගැටුම් ඇතිවිය. මේ අතර සීතාවක රාජධානිය මෙකල ප්‍රභලතම රාජධාණිය වූ අතර එයට මූලිකම සාධකය වූයේ 12 වැනි වියේ සිටම යුද බිමේ මහා දස්කම් පෑ ටිකිරි කුමරුය. අති දක්ෂ අශ්වාරෝහකයෙකුවූ ටිකිරි කුමරු කුඩා කල සිටම අංගම් ශාස්ත්‍රයේ ප්‍රවීණයෙක් ලෙස ප්‍රකට ය.

මුල්ලේරියා සටනේ මූලාරම්භය

අතිශය ප්‍රභල ටිකිරි කුමරු ප්‍රමුඛ සීතාවක රාජධානිය කොට්ටේ ධර්මපාල රජුට මෙන්ම පතිකාල් (පෘතුගීසි) හමුදාවටද බරපතල තර්ජනයක්ව පැවති මෙම යුගයේ කෝට්ටේ ධර්මපාල රජු හා ප්‍රතිකාල් හමුදා නායකයෝ සීතාවකට එරෙහිව යුධ පිඹුරුපත් සකසන්නට විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස, කෝට්ටේ හමුදාව හා පරංගි හමුදාව එක්ව 1562 වර්ෂයේදී සීතාව රාජධානිය ආක්‍රමණය කිරීමට සේනාව මෙහෙයවූ අතර පළමුව මුල්ලේරියාවේ අඹතලේ කඳවුරට පහර දෙන අදහසින් හේවාගත වෙල කඳවුරු ලා ගත් හ. මෙම ස්ථානය වර්තමාන අඹතලේ මංසන්ධියේ සි පරණ පාරේ රණබිම මාවත ආසන්නයේ පැවත් බව සැලකේ. එම නිසාවෙන්ම මෙම භූමිය හේවාගත වෙල නමින් ප්‍රකට වී ඇත. දක්ෂ අශ්වාරෝහකයෙකු මෙන්ම අංගම් සටනේ ප්‍රවීණයෙකු වූ ඒකනායක මුදලි මෙකල සීතාවක රාජකීය හමුදාවේ ප්‍රධානියා විය. ඉහත ආකාරයට හේවාගත වෙලට එක්රොක් වූ ප්‍රතිකාල් හමුදාවෝ විනාශ කරන්නට සැලසුම් සකස් කළේ ඒකනායක සෙන්පතිය. මේ අතර පියරජුගේ උපදෙස් මත ටිකිරි කුමරු දහදාහක සේනාවක් සමඟ හේවාගම් කෝරළයේ කඳවුරුලාගෙන සිටි අතර ටිකිරි කුමරුගේ ඉල්ලීම පරිදි කොරතොට ආරච්චිවරු ප්‍රමුඛ අංගම් සටන් ශිල්පීන් සමූහයක් මුල්ලේරියාවට පැමිණ සිටියේ ය. මේ බව රාජාවලියේ දැක්වෙන්නේ මෙසේ ය. “වික‍්‍රමසිංහ මුදලින් - බිඳී ගිය සැටි රාජසිංහ රජු දැකලා වම - දකුණු පලිහක්කාරයන් හා දෙබාගේ ඇතුන් හා කොරතොට ආරච්චිවරුන් ළඟට කැඳවා හෝකන්දර රදා - දොළහ හේවායින් ගෙන්වා ඉලංගම්වල පලිහක්කාරයන් දහසකුත් දී පස්ස පොරොත්තුවට පැන කොටන් ද ඇරලා රාජසිංහ පෙරමුණ ඉස්සර පාරෙන් ගොසින් මුල්ලේරියා වෙල මැද හිටිනා කළ ප‍්‍රතිකාල් සේනාවට යුද්ධයට පැන්නාහ.“

අගෝස්තු 23 වන දිනය

1562 අගෝස්තු 23 වැනි දිනට පහන් වෙන්නට හෝරා තුනක් තිබියදී තම අංගම් ශූරයින් පිරිවරාගත් ටිකිරි කුමරු ප්‍රමුඛ කොරතොට කුරුපුපු ආරච්චි මුල්කොටගත් හමුදාව හේවාගත වෙළේ පෘතුගීසී කඳවුරේ පසු බාගය බලා රහසින් ගමන් කළ අතර කඳවුරු බැඳගෙන සිටි පෘතුගීසීන් වෙත නිර්දය ලෙස කඩා පැන ඔවුන්ට තම තුවක්කුවලට උණ්ඩ දමා ගැනීමටවත් අවසරයක් නොදී පහර දෙන්නට විය. මෙවිට ක්ෂණිකව කඩා වැදුණු රාජසිංහ කුමරු හා සේනාධිපති ඒකනායක මුදලි ස්වකීය සේනා මෙහෙයවා බිහිසුණු සටනක යෙදුණ අතර පෘතුගීසීන්ට අඩියක් හෝ පස්සට ගන්නට නොදී සීතාවක සේනාව අභීතව සටන් කලෝ ය. මේ සටනින් පරංගි හමුදාව 1600ක් දෙනා මිය ගිය පව සඳහන් වන අතර දොන් ජුවන් ධර්මපාලගේ ස්වදේශ හමුදාව පළා ගිය බව කියවේ. මෙම සටන්දී පරංගි සෙන්පති බැල්තරාර් ගෙඩිස්ද මරණයට පත්වූ අතර පරංගි හමුදාවේ ලෙයින් මුල්ලේරියා වෙලේ වතුර ලෙයට හැරවුණ බව කියවේ. මේ බව රාජාවලියේ දැක්වෙන්නේ මෙසේ ය. “පස්ස පොරොත්තුවෙන් ගිය හමුදාවක් ඇවිත් පැනලා යුද්ධ කරන විට ජයසුන්දර බාගෙන් වීර හස්ති කියන ඇතා කොඩියක් ගතීය. විජේසුන්දර බාගෙන් ඓරාවණයා කියන ඇතා පළිසකුත් දම්වැලකුත් ගතීය. රාජසිංහ රජු අසු පිටට නැගී මහා සේනාව පස්සට වෙන්ඩ නෑර ප‍්‍රතිකාලූන්ගේ මැදට වැදලා පලිසක්කාරයොත් ප‍්‍රතාකානොත් ඇතුන්ගේ වල්ගාවල එල්ලී කෙටුවාහ. තුවක්කුවලින් ගසා ප‍්‍රතිකානෝ පලිසක්කාරයින් මැරුවාහ. රාජසිංහ රජු අසුට නැඟී විහිදුවා සේනාව වට කර දුවමින් රණ යුද ගිනි කෙළි කෙළ කොටන විට දුරුතු මස මිහිදුම් මෙන් වෙඩි දුම් පටලාගෙන සිටින සඳ මුල්ලේරියාවේ වෙල මැද ලේ වතුර කොට ප‍්‍රතිකාල් සේනාවට අඩියක්වත් පස්සට යන්ඩ නෑර කොටා එක්දාස් හසියයක් ප‍්‍රතිකානුන් හා කෝට්ටේ සේනාවගෙන් කීප දෙනෙකුත් පඩත්තලවරුන් කීප දෙනෙකුත් කොටා වැටුණාහ.[1]“ මෙම මුල්ලේරියා සටන පිළිබඳව පෝල් ඊ පීරිස් මහතා ලියු පෘතුගීසි යුගය නම් ග‍්‍රන්ථයේ මෙසේ සඳහන් වෙයි’ "මේ අවස්ථාවේදී රාජසිංහ පෞද්ගලිකවම අණදීම භාරගත්තේ ය. ප්‍රවීණ ඉලංක්කරුවෝද ඉලංගම් සටන් පුහුණුවූ පනික්කි සටන් කරුවෝද ඇත් අස හමුදාවලින් ද අතුරුගිරිය කෝරලෙන් සහ කොරතොටින් පැමිණි ධීර වීර සෙබළුන් ද මුල්ලේරියාව හා කඩුවෙල අතර විවෘත බිම් තීරයේදී පෘතුගීසීන් වෙත කඩා පැන නිර්දය ලෙස පහරදීමට වූහ. රාජසිංහ තෙමේම පෙරමුණේ සිට දැඩි ප්‍රහාරයන් එල්ලකර අතර කොරතොට හා ‍හේවාගම ආරච්චිවරුන් පසුපසින් ප්‍රහාර එල්ල කළේ ය. මහා ලේ ගංගාවක් ගලා ගිය අතර දරුණු සතුරු සංහාරයක් සිදුවිය.[2]

සටන් අවසන් වූ පසු විජයග්‍රහණය සැමරීමට මුල්ලේරියාව ආසන්නයේ පෘතුග්‍රීසින් කඳවුරුලා සිටි තැනක සීතාවක හමුදාවෝ පැමිණ කොඩි සිටුවූහ. මෙම ස්ථානයට එබැවින් "කොඩිගහවත්ත" යනුවෙන් හැදින්විය. අද මුල්ලේරියාව නගරයට කිලෝ මීටරයක් ආසන්නයෙන් කොටිකාවත්ත යනුවෙන් ඇත්තේ එම නගරයයි.

කඩුවෙල රන්කඩු පත්තිනි දේවාලය..

කඩුවෙල සිට අවිස්සාවේල්ල දෙසට වන්නට අදටත් පිහිටා ඇති රන් කඩු පත්තිනි දේවාලය මෙම යුධ සංග්‍රාමයේ එක් සංධිස්ථානයකි. එකල කඩුවෙල කඩවත නමින් පරසිද්ධ බලකොටුව වූ මෙම දේවාල භූමියේ සිට සේනාව මෙහෙය වු රාජසිංහයන් පෘතුගීසින්ට එරෙහිව යුද වැදෙන්නට පෙර තමන් දැඩි ලෙස ඇදැහු පත්තිනි මෑණියන්ට භාරයක් විය. තමා යුද්ධය ජයග‍්‍රහණය කළහොත් තම රන් අසිපත පුදා මෙම කඩුවෙල බලකොටුවේ පත්තිනි දේවාලයක් තනවන බවට වු එම භාරය ඔප්පු කරනු වස් එහි තැනවු පත්තිනි දේවාලය අදටත් ”රන්කඩු දෙවොල” ලෙස හැඳින්වේ

කොරතොට අංගංකරුවන්..

කොරතොට සම්ප්‍රදායේ වත්මන් අංගම්පොර සටන්කරුවන් පිරිසක්
උක්ත මුල්ලේරියා මහා සංග්‍රාමයට වගකිවයුතු පාර්ශවයක් ලෙස අදටත් නොනැසී පවතින සටන් පරම්පරාවක් ලෙස කොරතොට ආරච්චිවරුන් හඳුනාගත හැකිය. කඩුවෙල සිට මද දුරත් අතුරුගිරිය මාර්ගයේදී හමුවන කොරතොට ග්‍රාමය ආශ්‍රිතව අදටත් නොනැසී තම සටන් හරඹයන් පවත්වාගෙන එන මොවුන් සම්බන්ධව පෘතුගීසි යුගය ග්‍රන්ථයේ සඳහන් වන්නේ මෙසේ ය. ”කොරතොටින් පැමිණි ධීර වීර සෙබළු ද, ප‍්‍රවීණ ඉලංගක්කරුවෝ ද ඉලංගං සටන් පුහුණු වු පනික්කි සටන්කරුවෝ ද මුල්ලේරියාව හා කඩුවෙල අතර විවෘත බිම් තීරයේ දී පෘතුගිසීන් වෙත කඩා පැන නිර්දය ලෙස පහර දීමට වුහ. රාජසිංහ තෙමේ ම පෙරමුණේ සිට දැඩි ප‍්‍රහාරයක් එල්ල කළ අතර කොරතොට හේවාගම ආරච්චිවරුන් පසුපසින් ප‍්‍රහාර එල්ල කළේය. මහා ලේ ගංගාවක් ගලා ගිය අතර දරුණු සතුරු සංහාරයක් සිදු විය.” ඔවුන් ගැන කියැවෙන තවත් ජනකවියක් මෙසේ ය.

රාසින් නිරිඳු වැඩලා රණ කෙලි තොටට
ඉලංගමට හේවාකම් දුන් කලට
පස්ස පොරොත්තුව පැනලා කොටන්නට
කොරතොට ආරච්චිල ගියෙ පෙරමුණට

ලොවක් දිනා බෞද්ධ භික්ෂුවක් හමුවේ පැරදුණු මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා.

ග්‍රීසියට අයත් මැසිඩෝනියාවේ රජකමට පත් ඇලෙක්‌සැන්ඩර් කුමරු යුරෝපයේ සිට ගොඩබිම හරහා ඉන්දියාව දක්‌වා අධිරාජ්‍යයක්‌ ගොඩනැඟූ පළමු යුරෝපීය පාලකයා විය. මහා දිග්විජයකරුවකු වූ හේ ඉතිහාසයෙහි හැඳින්වෙන්නේ මහා ඇලෙක්‌සැන්ඩර් නමිනි. ක්‍රි.පූ. 336 දී රජ වී වසර දෙකකට පසු ඇරැඹුණු අධිරාජ්‍යය ගොඩනැංවීම තුළින් තුර්කිය, ඉරානය, ඉරාකය, ඇෆ්ගනිස්‌ථානය හරහා භාරතයේ පන්ජාබ් ප්‍රදේශය දක්‌වා මහා අධිරාජ්‍යයක්‌ ඇතිකරන ලදී.

වයස විස්‌සේදී රජකමට පත් ඇලෙක්‌සැන්ඩර් කුමරු වයස අවුරුදු විසි දෙකේදී මහා දිග්විජය අරඹා එකොළොස්‌ අවුරුද්දක්‌ යුද්ධ කර දැවැන්ත අධිරාජ්‍යයක්‌ ගොඩනංවා ජයග්‍රාහී ලෙස ආපසු තම රටට එමින් සිටියදී ක්‍රි.පූ. 369 දී නොහොත් වයස අවුරුදු තිස්‌තුනේදී අතරමඟ බැබිලෝනියාවේදී මියගියේය. ඔහුට තම අධිරාජ්‍යය භුක්‌ති විඳීමට කාලයක්‌ නොවීය.

ඇලෙක්‌සැන්ඩර්ගේ ආපසු හැරීම ගැන පාසල් අධ්‍යාපනය තුළදී ඉගැන්වූ කරුණ වූයේ අවුරුදු ගණනක්‌ තම ගම්බිම්වලින් දරු මල්ලන්ගෙන් ඉවත්ව යුද්ධ කරමින් සිටි හමුදාවට යුද්ධය හොඳටම ඇතිවී ඉන් හෙම්බත්වී සිටි බවත්, අවසන් වරට පරාජය කළ පෝරස්‌ රජු ද (පංජාබයේ) දරුණු සටනක්‌ කිරීම හා ඔහුගේ අභීත, එඩිතර ගතිගුණ ඇලෙක්‌සැන්ඩර්ගේ මනස සෙලවීමට සමත්වූ බවත්ය.

නමුත් තමාගේ දිග්විජය චාරිකාව ගැන සටහන් තබා ඇති ඇලෙක්‌සැන්ඩර් ගේ වාර්තාවල කියෑවෙන්නේ වෙනත් දෙයකි. පෝරස්‌ රජු පිළිබඳ සාධකය හා යුද්ධ හමුදාව හෙම්බත්ව සිටීම පිළිබඳ විස්‌තරද එහි ඇතුළත් වුවත්, තමාගේ ආපසු හැරීමට හේතුව බව දක්‌වන්නේ රජුගේ සිතට කා වැදී ගිය එක්‌තරා අවබෝධාත්මක හැඟීමකි. මේ අවබෝධය ඔහුට ලබාදී ඇත්තේ බෞද්ධ භික්‌ෂුවක විසිනි. මේ තරම් විශාල අධිරාජ්‍යයක්‌ ගොඩනැංවුවත් රජු විසින් එය භුක්‌ති විඳින්නේ කෙසේද යනුවෙන් භික්‌ෂුව විසින් විමසන ලද ප්‍රශ්නයට අධිරාජ්‍යයා නිරුත්තර විය. ඔහුට එය අවබෝධ වූයේ එවිටය.

ඉතා භයානක යුද්ධයකින් පෝරස්‌ රජුගේ රාජ්‍යයද ජය ගැනීමෙන් පසු රජු හා හමුදාව දින කිහිපයක්‌ විවේක සුවයෙන් ගත කළේ ගතට මෙන්ම සිතටද සහනයක්‌ අවශ්‍ය වූ නිසාය. ඇලෙක්‌සැන්ඩර් රජු නැවතී සිටි කඳවුර අස එක්‌තරා බෞද්ධ ආරාමයක්‌ විය. එහි සිටි බෞද්ධ භික්‌ෂුවක්‌ ප්‍රදේශවාසීන්ගේ අතිමහත් ගෞරවාදරයට ලක්‌වී සිටියේය. කවුරුත් උන්වහන්සේට ගරු කළ අතර බුද්ධියෙන් කරුණු අවබෝධ කරදීමේත්, උපදෙස්‌ දී ප්‍රශ්න විස¹ලීමේත් මහා වියතකු ලෙස කීර්තියක්‌ ලබා තිබුණි. ඇලෙක්‌සැන්ඩර් රජු මෙම බෞද්ධ භික්‌ෂුව මුණ ගැසීමට ගියේය.

තමා ග්‍රීසියේ පිලිප් රජු ගේ පුතා බවත්, ලොව මෙතෙක්‌ කිසිවකු කර නැති මහා දිග්විජය සම්පූර්ණ කරමින් ලොව ප්‍රධාන ගංගා හයක්‌ හරහා අවුත් මුළු පොළොතලයෙන් අඩකඩ වඩා තම අඥ චක්‍රයට නතුකර ඇති බවත් කියාපාමින් ඇලෙක්‌සැන්ඩර් තමාව හඳුන්වාදුණි. ඊට සාවධානව ඇහුම්කන් දුන් භික්‌ෂුන් වහන්සේ පවසා සිටියේ තමා ඉන් පෙර මහා අධිරායා ගැන මෙම විස්‌තර නොදැන සිටි නිසා ප්‍රශ්න කර තවත් තොරතුරු දැන ගැනීමට අධිරාජයාගෙන් අවසර ලැබේද යන්නයි. ඇලෙක්‌සැන්ඩර්ට ද අවශ්‍ය වුයේ සංවාදයේ යෙදීමට නිසා ඔහු ඉතා කැමැත්තෙන් ඒ සඳහා අවසර දුනි. ඉන් අනතුරුව බෞද්ධ භිකෂුන් වහන්සේ ඇසූ ප්‍රශ්න හා ඒවාට ලැබුණු පිළිතුරු පහත දැක්‌වේ.

භික්‌ෂුව – මහා අධිරාජය ෘ මින් පෙර නො ඇසූ විරූ මහා දිග්විජයක්‌ කිරීමට ඔබ සමත් වුවත් ඔබද මිනිසෙකි. ඔබට නිදිමත ඇතිවේද?

ඇලෙක්‌සැන්ඩර් – එසේය. නිදිමත ඇති වේ.

භික්‌ෂුව – එවිට ඔබ නිදාගන්නේ හිස මැසිඩෝනියාවේ හා දෙපය පන්ජාබයේ පිහිටන පරිදි මුළු අධිරාජ්‍යය වසා ගනිමින්ද?

ඇලෙක්‌සැන්ඩර් – නැත. කවුරුත් නිදන ආකාරයේ සාමාන්‍ය ඇඳක නිදමි.

භික්‌ෂුව – මහා අධිරාජය ඔබට බඩගිනි ඇතිවේද?

ඇලෙක්‌සැන්ඩර් – එසේය. බඩගිනි ඇති වේ.

භික්‌ෂුව – එවිට ඔබ මුළු මහත් අධිරාජ්‍යයේම ඇති අග්‍ර වූ ධාන්‍ය, පළතුරු, මස්‌ හා කිරි හැම වර්ගයකින්ම ආහාරයට ගන්නේද?

ඇලෙක්‌සැන්ඩර් – නැත. සාමාන්‍ය පිරිසිදු පෝෂ්‍යදායී ආහාර වේලක්‌ පමණක්‌ ගනිමි.

භික්‌ෂුව – මහා අධිරාජයෘ ඔබට පිපාසය ඇතිවේද?

ඇලෙක්‌සැන්ඩර් – එසේය. පිපාසය ඇති වේ.

භික්‌ෂුව – එවිට ඔබ, ඔබගේ මහා අධිරාජ්‍යයේ ඇති ගංගා හයෙන්ම ජලය මුසු කළ මහා පැන් කළයක්‌ පානය කරන්නේද?

ඇලෙක්‌සැන්ඩර් – නැත. දිය බඳුනෙන් අවශ්‍ය ප්‍රමාණයට පැන් බොමි.

භික්‌ෂුව – එසේ නම් ඔබ විසින් ගොඩනැංවූ ඔය මහා අධිරාජ්‍යය ඔබ විසින් භුක්‌ති විඳින්නේ කෙසේදැයි විස්‌තර කළ හැකිද?

මෙහිදී ඇලෙක්‌සැන්ඩර් නමැති මිහිතලයේ විශාලම අධිරාජ්‍යය ගොඩනඟා තිබූ අධිරාජ්‍යයා තමා හිඳගෙන සිටි අසුනින් නැගිට ආරාමයට එන අනෙකුත් සැදැහැතියන් කරන්නා සේ පසඟ පිහිටුවා වැඳ නමස්‌කාර කළ බව ඇලෙක්‌සැන්ඩර් රජුගේ වාර්තාවල සඳහන් වේ. දිග්විජයෙහි ඇති නිසරු බව මෙම කෙටි සංවාදයෙන් පසු අවබෝධකර ගැනීමට තිස්‌තුන් හැවිරිදි ඇලෙක්‌සැන්ඩර්ට හැකිවිය.

එදින රාත්‍රියේ තමන්ට නින්ද නොගිය බවත්, ආරාමයේ භික්‌ෂුව විසින් කියූ දේවල් ගැනම සිතමින් සිටි බවත්, පසුදින උදය වරුවේම ආරාමය වෙත ගිය ඇලෙක්‌සැන්ඩර් තම තීරණය උන්වහන්සේට දන්වා සිටි බවත් සටහන් කර ඇත. එහි සඳහන් වන්නේ තවදුරටත් රටවල් යටත් කර ගැනීම අවසන් කර ආපසු හැරීමට තීරණය කළ බවයි.

යටත්කර ගත් ප්‍රදේශ පාලනයට සේනාපතිවරුන් හමුදාංක සමග නතර කර ඇලෙක්‌සැන්ඩර් ආපසු හැරුණේ අගනුවරට ආපසු ගිය වහාම ආරාමයක්‌ ඉදිකරන බව හා එහි විසීමට භික්‌ෂුන් වහන්සේලා කිහිප නමක්‌ වඩම්මාගෙන යැමට දූතයන් එවන බවට ඉහත කී නායක භික්‌ෂුන් වහන්සේට ප්‍රතිඥ දීමෙන් පසුවය.

මේ කිසිවක්‌ ඉටු කිරීමට ප්‍රථම, එනම් තම රට බලා ආපසු යැමටද ප්‍රථම අතරමඟ බැබිලෝනියාවේදී (වත්මන් ඉරාකය) ඇලෙක්‌සැන්ඩර් හදිසියේ මියගියේය. එම නිසා ඔහුගේ බලාපොරොත්තු හා සැලසුම් සියල්ල ඉන් අවසන් විය.

Sunday, November 26, 2017

දැන් මම කියන ගාථාවේ අන්තිම පදය ඉවර වෙනකොටම.. එක පාරින්.. මගේ හිස කඳින් වෙන් වෙන්නම කොටාපන්.

එදාත් අද වගේ දවසක්..
නොවැම්බර් 26 වෙනිදා දවසක්..
එදාත් වෙනදා වගේ ඉර පෑව්වත් අපේ රටට මහා අන්ධකාර දවසක්..
නුවර බෝගම්බර වධක පිට්ටනියේ
ඉංග්‍රීසි ආණ්ඩුවේ නිලධාරියෝ රැස් වෙලා..
වධක පිට්ටනිය මැද දන්ගෙඩිය.. ඒ ලග වධකයෝ..
කඩු අතින් අරන්..
ටික වෙලාවකින් බෝගම්බර පිට්ටනියට තවත් දෙන්නෙක් එක්කරගෙන ආවා..
ඒ අපේ සිංහල වීරයෝ දෙන්නෙක්..
අපේ රට ඉංග්‍රීසින්ගෙන් බේර ගන්න හටන් කරපු වීර සෙන්පතියෝ දෙන්නෙක්..
එක්කෙනෙක් මොනරවිල කැප්පෙටිපොල නිලමේ තුමා..
අනිත් කෙනා මඩුගල්ලේ නිලමේ තුමා..
එදා ඒ බෝගම්බර පිට්ටනියේදී ඒ දෙන්නගේ හිස් ගසා දාන දවස..
ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්දව කැරලි ගහපු වැරැද්දට..
ඉංග්‍රීසි නිලධාරින් බලා හිටියේ
මේ දෙන්නා මරණ බයෙන් වැලපෙන හැටි දකින්න..
ජීවිත දානය දෙන්න කියලා ආයාචනා කරන හැටි බලන්න..
කැප්පෙටිපොල නිලමේ දෝත් මුදුන් දීලා වැඳලා පන්සිල් ගත්තා..
ඊට පස්සේ ඒ වෙනකොට උඩුකය වැහෙන්න ඇදගෙන හිටපු සළුව ගැලෙව්වා..
බෝගම්බර පිට්ටනියේ ඉදන් දළදා මාලිගාව පැත්තට හැරිලා නමස්කාර කළා..
"දැනට මම සතු එකම වස්තුව මේක විතරයි.. මේක දළදා හාමුදුරුවන්ට පුජා වේවා.." කියලා සළුව දළදා හාමුදුරුවන්ට පුජා කළා.
ඊට පස්සේ..
කැප්පෙටිපොල නිලමේ තුමා වධකයා ලගට ගියා..
රැස් වෙලා උන්නු හැමෝම බලා උන්නේ පුදුම වෙලා..
"දැන් මම කියන ගාථාවේ අන්තිම පදය ඉවර වෙනකොටම.. එක පාරින්.. මගේ හිස කඳින් වෙන් වෙන්නම කොටාපන්.."
කැප්පෙටිපොල නිලමේතුමා වධකයාට කිව්වා.
මඩුගල්ලේ නිලමේ නම් උන්නේ ටිකක් බය වෙලා..
"මොකටද බය වෙන්නේ මඩුගල්ලේ.. අපි රට වෙනුවෙන් මෙච්චර දෙයක් කලාට පස්සේ.. මෝඩයෙක් වගේ නෙවෙයි වීරයෙක් වගේ මරණයට මුණ දීපන්.." කැප්පෙටිපොල නිලමේතුමා මඩුගල්ලේ නිලමේ තුමාට කිව්වා.
ඊට පස්සේ දන්ගෙඩියට බෙල්ල තිබ්බා..
ධම්ම පදයේ ගාථාවක් මහා හයියෙන් සජ්ජායනා කළා..
ගාථාව ඉවර වෙනකොටම වධකයා කැප්පෙටිපොල නිලමේතුමාගේ බෙල්ලට කඩුවෙන් කෙටුවා..
මේ වීරයා මරණයටවත් බය නැති හැටි දැකලා වධකයාගේත් අත් වෙවුලන්න ඇති..
ඒ කඩු පාරින් කැප්පෙටිපොල නිලමේ තුමාගේ බෙල්ල කැපිලා වෙන් උනේ නෑ..
බාගේටයි කැපුනේ..
බාගෙට කැපුණු බෙල්ලෙන් දෙවුර දිගේ ගලන ලේ දහරා එක්කම
කැප්පෙටිපොල නිලමේ තුමා ආයෙත් ඔලුව ඉස්සුවා..
"වධකය" නිලමේ තුමා වධකයාට කතා කළා.. ඒ කටහඩේ කෙන්තියක්වත්, බයක්වත් වේදනාවක්වත් නෑ.
"බෙල්ලේ මෙන්න මෙතනට කොටාපන්.."
මොනරවිල කැප්පෙටිපොල නිලමේ තුමා තමන්ගේම අතින් තමන්ගේ බෙල්ල කපන්න ඕනේ තැන පෙන්නලා කියා දුන්නා..
බෝගම්බර පිට්ටනියේ වට වෙලා බලා උන්නු සුද්දන්ට හුස්ම ගන්නත් අමතක වෙන්න ඇති..
වධකයා දෙවෙනි පාර ගහපු කඩු පාරින් කැප්පෙටිපොල නිලමේ තුමාගේ හිස කඳින් වෙන් උනා.
මෙහෙමත් නිර්භීත කමක්..!
ඉංග්‍රීසි නිලධාරීන්ට හිතා ගන්න බැරි උනා..
ඒ නිසා..
කැප්පෙටිපොල නිලමේ තුමාගේ හිස් කබල අරන් මතක සටහනක් විදිහට සංරක්ෂණය කළා..
මේ තියෙන්නේ ඒ හිස් කබල..
මම මේ පොස්ටුවට හිස් කබලේ පින්තුරේ දැම්මේ
හොල්මන් කතාවක් ආදර කතාවක් කියවන තරම් උනන්දුවක්
අපේ ඇත්තන්ට අපේ අභිමානයක් ගැන කියවන්න ඇත්තේ නැති නිසා..

Monday, November 13, 2017

~ කොසොල් රජුට ඇසුණ අපායේ හඬ ~

එකල ලොව්තුරු මාගේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවත්නුවර ඡේතවනාරාමයේ ය. උන්වහන්සේ තම ජීවිතයෙන් වැඩි කාලයක්‌ ගත කරන්න යෙදුනේ මේ පිංබිමේය. ඡේතවනාරාම පුන්‍ය භූමියේදී නිවන් පසක්‌ කර ගත්තෝ නම් බොහෝ ය. එය ගණනින් නම් කිව නොහැකිම ය. අද මා ඔබට කියාදීමට බලාපොරොත්තු වන්නේ ඡේතවන පිං බිමේදී බුදුපියාණන් වහන්සේ ඔබ අප කාටත් දේශනා කළ උතුම් ධර්ම කාරණාවක්‌ පිළිබඳවයි. එනම් අනුවණයා බොහො අකුසල් කොට සසර දිග්ගසා ගන්නා ආකාරයයි. මේ ධර්ම කාරණය ඔබ අප කාටත් සසරේ තරම තේරුම් ගැනීමට මොනවට උපකාරී වේ. මේ ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොසොල් මහ රජතුමා උදෙසාය. එතුමා කම් සැපයට ගිජු පුද්ගලයකු බව අප සියල්ලෝම දන්නා කාරණයකි.

කොසොල් මහ රජතුමා යනු එවකට එනම් බුදුරජාණන් වහන්සේ මෙලොවට පහළ වු කාලයේ භාරතයේ සිටි ඉතා ප්‍රබල රජවරුන් සිව්දෙනාගෙන් එක්‌ අයෙකි. බිම්බිසාර රජු, වත්ස රජු, චන්ඩපඡ්ජෝත රජු අනෙක්‌ බලසම්පන්න රජවරුන් තිදෙනාය. කොසොල් රජු ඉතා බලසම්පන්න රජෙකි. නමුත් එතුමා කම් සැපයට දැකුවුයේ මහ පුදුමාකාර ලොල් බවකි. එතුමා නිතරම උත්සාහ කළේ රූමත් කාන්තාවන්ගෙන් තම අන්තඃපුරය පුරවා ගැනීමටය.

භාරතීය රජවරුන්ගේ පෙර සිට පැවති සිරිතක්‌ විය. එනම් සියලු ආභරණයෙන් සැරසී පිරිවර ජනයා සමඟ තම නුවර සංචාරය කිරීමයි. රජු නුවර පැදකුණු කිරීමට පෙර ඒ බව අණබෙරයක්‌ මගින් රට වැසියන්ට දැනුම් දෙයි. රට වැසියා ඉතා ප්‍රීතියෙන් තම රජුට ආචාර කිරීමට නුවර සරසති. මග දෙපස සිට රාජශ්‍රීය බලමින් සතුටු වෙති.

කොසොල් මහ රජතුමන් ද මෙම චාරිත්‍රය අකුරටම ඉටු කළ රජෙකි. එතුමා නුවර පැදකුණු කරන්නේ විශේෂයෙන්ම එතුමාගේ නෙත රූමක්‌ කාන්තාවන් කෙරෙහි යොමු වූයේ රජුටත් නොදැනීමය. රූමත් කාන්තාවන්ගේ බැල්මෙන් වශී වන රජු ඊළඟට කරන්නේ එම කාන්තාවන් විවාහකද අවිවාහක ද කියා සොයා බැලීමයි. මේ සඳහාම විශේෂිත වූ ඇමැතිවරුන් සේම රාජ පුරුෂයන් ද රජුට විය. රූමත් යුවතියෝ අවිවාහක නම් රජ අණින් ඇය අන්තඃපුරයට කැඳවයි. රූමත් යුවතිය විවාහක නම් රජු කරන්නේ කුමන හෝ චෝදනාවකින් ඇගේ ස්‌වාමියා සිරගත කොට මරා දමා ඇය අන්තඃපුරයට කැඳවා ගැනීමයි. මේ දිනපතා බුදු බණ ඇසීමට දෙව්රමට ගිය රජුගේ අභ්‍යන්තර ජීවිතයේ ස්‌වභාවයයි.

කාලයක්‌ ගත විය. දිනක්‌ කොසොල් මහ රජු සිව් සැට අබරණින් සැරසී නුවර පැදකුණු කරයි. එවේලේ එක්‌තරා තැනක උඩුමහලේ රූමත් යුවතියක්‌ රජුගේ නෙත ගැටුනි. සිත චංචල විය. රජු රාගයෙන් රත්විය.රජු බලාගත් අතම ඇය දෙස බලාගෙන සිටියි. දැන් ඇය මාලිගයට කැඳවා ගන්නා තුරු මහ රජුට නිවනක්‌ නම් නැත. මේ කාරණය දත් ඇමැතිවරුන් පළමුව කළේ මේ යුවතිය පිළිබඳ සොයා බැලීමයි. එය ඉතා රහසේම සිදුවිය. සියලු තොරතුරු දත් චරපුරුෂයන් පැවසුවේ මේ යුවතිය විවාහක ගුණවත් කාන්තාවක්‌ බවත් ඇගේ සැමියා තෙරුවන් සරණ ගිය උපාසකයකු බවත් ඔහු නිරතුරු බුදුරදුන් දක්‌නට යන බවත් ය.

නමුත් රජුගේ සිත වෙනස්‌ කළ නොහැකිමය. රාග ෙච්තනාව ගිනි ජාලාවක්‌ සේ දිවා රෑ රජු දවයි. දැන් රජු හා සල්ලාල ඇමැතිවරුන් සැලසුම් කරන්නේ මේ යුවතියගේ ස්‌වාමියා කුමන හෝ චෝදනාවකට වැරදිකරු කරන්නේ කෙසේද කියා ය. මේ අනුව රජු හා ඇමැතිවරුන් අපූරු සැලසුමක්‌ දියත් කළෝය. ඒ අනුව රූමත් යුවතියගේ ස්‌වාමියාට රජ වාසලට එන ලෙස අණ ලැබිණි. බියට පත් මේ අසරණ මිනිසා එවේලේම රජ වාසලට පැමිණියේය. රජ ඔහුට පසුදින සවස රජු නහන වේලාවට පෙර කඩුපුල් මල් හා අරුණවන් මැටි ගෙන එන ලෙස අණ කළේය. කඩුපුල් මල් හා අරුණවන් මැටි ඇත්තේ මේ ලෝකයේ නොව නාග ලොවෙහි ය. රජු මේ සැරසෙන්නේ කෙසේ හෝ මේ මිනිසා මරා ඔහුගේ බිරිඳ අයිති කර ගැනීමටයි. නිවසට ගිය මේ අසරණ මිනිසා මේ සියලු පුවත් තම බිරිඳට සැළකොට පසුදින බත් මුලක්‌ ද ගෙන කඩුපුල් මල් හා අරුණවන් මැටි ගෙන ඒම සඳහා පිටත් විය. ඔහු නුවරින් පිටව ගිය පසු රජු අණ කළේ වාසල් දොරටුව වේලාසනින් වසා දමන ලෙසයි.

මේ අසරණ මිනිසා මේ සොයා යන්නේ මෙලොව ඇති දෙයක්‌ නොවේ. රාජ උදහසට පත්ව මිය යැමට සිදුවන බව ඔහු හො¹කාරව දනියි. කරන්නේ කුමක්‌ද? බොහෝ දුකට පත් මේ මිනිසා අතරමඟදී තම බත්මුලෙන් කොටසක්‌ මගියකුට දන් දෙන ලදී. ගං ඉවුරට ගිය මොහු ඉතිරි කොටස අනුභව කොට ගඟ මසුන්ට බත් දෙන ලදී.

ඉන් පසු මොහු මෙසේ ප්‍රාර්ථනාවක්‌ කළේය. "මේ ගඟ ඇසුරුව වසන දෙවියනි, නයිනි, මා අතරමඟදී මඟියෙකුට බත් දුනිමි. දැන් ගඟ මසුන්ට බත් දුනිමි. මේ පින මම ඔබට අනුමෝදන් කරමි. මා හට කඩුපුල් මල් හා අරුණවන් මැටි ලබා දී මා ආරක්‍ෂා කරනු මැනවි." පිංවත්නි මේ ප්‍රාර්ථනාව ඇසුණු ඒ ගඟ නා රජු කරුණාවෙන් යුක්‌ත වූයේ මහලු මිනිසකුගේ වේෂයෙන් පැමිණ මේ මිනිසාට කඩුපුල් මල් හා අරුණවන් මැටි ලබාදුනි. සතුටින් පිනා ගිය මොහු නුවරට යන්නේ වාසල් දොර වසා ඇති බැවින් කඩුපුල් මල් හා අරුණවන් මැටි තාප්පයමත තබා දෙව්රම් වෙහෙරට ගොස්‌ රැය පහන් කළේය.

රජු එදා නින්දට ගියේ ඉමහත් සතුටිනි. හෙට උදැසන රූමත් යුවතියගේ ස්‌වාමියා මරා දමා ඇය මාලිගාවට ගෙන ආ හැක. ඇයගේ පහස විඳ සැනසිය හැක. ඇයගේ ආදරය විඳ ප්‍රීති ප්‍රමෝදයට පත්විය හැක. දැන් රජු උදැසන වනතුරු බලා සිටින්නේ නො ඉවසිල්ලෙනි. රාගය කොතෙක්‌ ද යත් රජුට නින්ද අමතක විය. රජු දැන් නොනිදා රැය පහන් කරයි. මාලිගාවේ අනෙක්‌ සියල්ලෝම නිදිය. දැන් මැදියම් රැය උදාවිය.

දැන් සිදුවන්නේ කුමක්‌ද? එක්‌වරම මහ හඬක්‌ නැගුණි. මාලිගාව දෙදරා ගියේය. ඒ හඬ කන් බිහිරි කරවන තරම් විය. ඒ ශබ්දයෙන් කියවුණේ දු- ස- න - සෝ යන ශබ්දයයි. දු-ස-න-සෝ යන ශබ්දයෙහි තේරුම කුමක්‌ද? රජු මහත් සේ බියට පත්විය. ගත දහඩියෙන් තෙත් විය. වෙව්ලන්නට විය. කිසිත් කර කියා ගත හැක්‌කක්‌ නොවීය. රජු ගල් පිළිමයක්‌ සේ දැස්‌ දල්වා රැය පහන් කළේය. උදැසන අවදි වූ රජු සැනකින් දෙව්රමට දිව ගියේය. ලොව්තුරු බුදුරදුන් හමුවට ගිය මහ රජු රාත්‍රි කාලයේ තමාට ඇසුණු බියකරු හඬවල් හතර පිළිබඳ දැන්වීය. මේ පුවත ඇසූ බුදුරජාණන් වහන්සේ රජුට මෙසේ පැවැසීය.

"මහරජ මේ හඬවල් සතර නිසා ඔබට වන හානියක්‌ නැත. මේ පෙර ආත්මයක කාමයේ වරදවා හැසිරුණු සිටු කුමාරවරුන් සිව්දෙනෙක්‌ ලෝකුඹු නරකයේ දුක්‌ විඳින ආකාරයයි. ඔබට ඇසුණේ ඔවුන්ගේ දුක පැවසීමට උත්සාහ ගන්නා ගාථාවන්ගේ පළමු අක්‍ෂර හතරයි. ඉතිරි කොටස කියා පෑමට සූදානම් වන විටම ඔවුන් ලෝ දිය සැලියෙහි ගිලී යයි" මෙසේ පැවසූ මාගේ බුදුපියාණන් වහන්සේ අකුසල කර්ම කොට නිරයේ දුක්‌ විඳින කුමාරවරුන්ගේ දුක කියා පෑමට උත්සාහ ගන්නා ගාථාවන් මෙසේ වදාළහ.

දුඡ්ජිවිතං අජීවිම්හ යේ සන්තෙන දදම්හසේ - විඡ්ජමානේසු හොගෙසු දීපං නා කම්ම අත්තනො (අපි දන් නුදුන්නෙමු, දුසිරිතෙහි හැසිරී පවිටු ජීවිතයක්‌ ගත කළෙමු.)

සට්‌ඨදීං වස්‌ස සහස්‌සානි පරිපුණ්‌ණානි සබ්බසෝ - නිරයේ පච්ච මානානං කදා අන්තෝ භවිස්‌සති (අපි සැට දහසක්‌ නිරයේ දුක්‌ විඳින්නෙමු. මෙහි කෙළවර නම් කවදා ද?)

නත්ථි අන්තෝ කුතෝ අන්තෝන අන්තෝ පති දිස්‌සති - තදා හි පකතං පාපං මම තුය්හං මාරිස (කරන ලද අකුසල් බොහෝ හෙයින් දුකෙහි කෙළවරක්‌ නොමැත.)

සෝහි නූන ඉතෝ ගන්ත්වා යෝනිං ලද්දාන මානුසිං - වදඤ්ඤු සීල සම්පන්නෝ කාහාමි කුසලං බහුං (මම මේ නිරයෙන් නික්‌මුණහොත් සිල්වත් වෙමි. බොහෝ කුසල් කරමි. කුසලයේ අනුහස්‌ කියමි.)

මහරජ ඔබට මේ ඇසුනේ මෙම ගාථාවන්ගේ පළමු අකුරු හතරයි. මේ පුවත ඇසූ කොසොල් මහ රජු මහත් සේ බියට පත් විය. තමන් කරන්නට ගිය අකුසල කර්මයේ තරම ඉතා හොඳින්ම රජුට තේරුම් ගියේය. රජු මේ පිළිබඳව කම්පාවට පත් විය. කිසි දිනෙක කාමයෙහි වරදවා නො හැසිරීමට රජු අදිටන් කර ගත්හ. ඉන් පසු රජු කිසි දිනෙක රූමත් යුවතියන් පසුපස ගියේ නැත.

මේ සිදුවීම අලලා මාගේ ලොව්තුරු බුදුරජාණන් වහන්සේ වදාළේ "දීඝ ජාගරතෝ රත්තී - නිදි වරන්නාට රැය දිග බව ද, දීඝං සන්තස්‌ස යෝජනං - ගමන් වෙහෙස ඇත්තාට යොදුන දුර බවද, දීඝෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතෝ - සද්ධර්මය පිළිනොපදින්නා වූ අනුවණයාට සසර දිග බවයි. බලන්න මේ ධර්ම දේශනාව මොන තරම් නම් වැදගත්ද කියා.

මේ ධර්ම දේශනාව තුළින් අප අපගේ ජීවිතයේ ඇති අඩුපාඩු හොඳින් හඳුනාගෙන ඒවා නිවැරැදි කර ගැනීමට මහන්සි විය යුතු අතර උතුම් බුදු බණ අපගේ ජීවිතයට සම්බන්ධ කොට ගෙන ජීවත් වීමට නිතරම උත්සාහවන්ත විය යුතුය. සසර ඉතා කටුකය. භයංකරය. එය අප නොපෙනෙන ඈතකට ගෙන යන මහත් සැඩ පහරකි. ඉතින් අප මේ සසරෙන් ගොඩ ආ යුතුය. බුදුරජාණන් වහන්සේ ඊට මඟ පෙන්වා ඇත. මාවත ඉතා පැහැදිලිය. අප නිවනින් සැනසීමට ඉක්‌මන් වෙමු. සැබැවින් ම ඔබටත් මටත් එය කළ හැක.

ඔබ සැමට තෙරුවන් සරණයි..
දිවයින බුදුමඟ අන්තර්ජාල කලාපය-ඕලුගම ඉන්දරතන හිමි

ලොවට අහිමි කළ ලෝක උරුමය බාමියන් බුදු පිළිම


ඇෆ්ගනිස්ථානය හසරජාත් පළාතේ බාමියන් නිමිනයේ ඇති පර්වත මුදුනේ ඉදි කළ බුදු පිළිම බාමියන් පුදු පිළිම ලෙස හැදින්වෙි. බාමියන් නිමිනය ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට කි මි 230ක් වයඹ දෙසින් මුහුදු මටිටමෙි සිට මීටර 2500ක් උසිනි බාමියන් බුදු පිළිම ඉදි කරනු ලැබුයේ 6 වැනි සියවසේදීය. මෙම බුදු පිළිම ඉන්දු ගීක මූර්ති ශිල්ප අනුව කළ උසස් නිර්මාණ ලෙස සැලකේ. මෙම පිලිම වල විශේ්ෂ කොටස් පර්වතයේ ඇති වැලි ගලින් නෙළා සියුමි කොටස් පිදුරු හා මැටි එකතු කළ බදාමයකින් නිර්මාණය කර තිබෙි. මුහුණු අත් හා සිරැරැ කොටස් විවිධ වර්ණවලින් හැඩගන්වා තිබෙන්නට ඇතැයි සැලකේ. පිළිමවල අත්වල පහළ කොටස් මැටි සහ පිදුරු සමග එකතු කොට බදාමවලින් නිමවා ලී ආරැක්කු යොදා සවි කර තිබෙන්නට ඇත. මුහුණුවල ඉහළ කොටස් දැව ආවරණවලින් හෝ වාත්තු කළ ඒවා මගින් නිමවා තිබු බවට විශ්වාස කරේ. දැනට පිළිමවල ඡායාරූපවල තැනින් තැන දක්නට ලැබෙන සිදුරු ආරුක්කුවලට යොදාගත් දැව සවි කර තිබෙි.
බාමයන් නිමිනය පිහිටා ඇත්තේ ඉපැරණි සේද මාවතේය බටහිර ආසියාවත් චීනයත් අතර වෙළද කටයුතු සිදුවුයේ මෙම සේද මාවත ඔස්සේය. එකළ චීන නිෂ්පාදන අතර කැපි පෙනෙනු සේද රෙදි යුරෝපයේ රටවල වෙළද පොළවලට ගෙන ගියේ මෙම මාර්ගය නිසා මෙය සේද මාවත යනුවෙන් නමි කරනු ලැබීය. කි ව 11 වන සියවස තෙක් මෙම බාමියන් පෙදෙස අයත් වූයේ ගන්ධාර රාජධානියටය එහි බෞද්ධ ආරාම ගණනාවක් තිබු අතර ගාන්ධාර බෞද්ධ දර්ශනය හා බුද්ධාගමට මෙන්ම ඉන්දු ගීක කලා නිර්මාණවල කේන්දස්ථානයක් විය. දෙවනි සියවස සිට නව වැනි සියවසේ ඉස්ලාමික ආකමණය තෙක් එහි බෞද්ධ ආගමික පසුබිමක් පැවතියේය.
බාමියන් පිළිම 2001 දී මුල්ලා මොහොමඩි ඔමාර්ගේ නියෝගය මත තලේබාන්වරුන් විසින් ඩයිනමයිඩි දමා පුපුරැවා ඇත. මෙයට හේතුව වූයේ තලේබාන් රජය විසින් මෙම පිළිම මුස්ලිමි ෂාරියා නීතිය යටතේ තහනමි කිරීම.


බාමියන් නිමිනයේ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වැදගත්කම සලකා යුනෙස්කෝ සංවිධානය මගින් නමි කළ යුනෙස්කෝ ලෝක උරුමයන් අතරට මෙම බුදු පිළිම අයත් විය. මෙම පිළිම ගීක සමිපදායෙන් ආභාශය ලැබූ ඒවාය. මහ ඇලෙක් සැන්ඩර් අ්ධිරාජයා මින් වසර 10ට පමණ පෙර මධයම ආසියාව අල්ලා ගැනිමෙන් පසු එහි ආභාසය ලැබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.

කොහුකුඹුරේ රටේ රාල

1818 උඩරට කැරැල්ලේ මහා සේනාපතියකු වූ කොහුකුඹුරේ රටේ රාල පිළිබඳ තොරතුරු එතරම් ප්‍රකට නොවේ. සිංහලේ නිදහස් සටනේ ජාතික වීරයන්ගේ නම් ලැයිස්තු...